Social Icons

Sunday, August 4, 2013

මල්ටිමීටරයකින් පාඨාංක ලබා ගන්නේ කෙසේද?


මල්ටිමීටරය භාවිතාවෙන් පාඨාංක ලබා ගන්නා ආකාරය ගැන අද අපි විමසා බලමු. සාමාන්‍ය වර්ගයේ මල්ටිමීටරයක  ඕම්ස් මාපකය, වෝල්ට්මීටරය මෙන්ම ඇමීටරයක්ද අඩංගුව ඇති බව මේ වන විට අප දැනුවත් වී හමාරයි. ඇනලොග් වර්ගයේ මල්ටිමීටරයක දර්ශක කොටස පළමු වරට දකින්නකුට නම් එහි යම් සංකීර්ණ බවක් ඇති බව වැටහී යා හැකියි. මාපක කීපයකම ප්‍රථිපල එකම දර්ශකයක් මගින් ලබා දීමේදී අදාල සියලුම මාපක අගයන් එහි සදහන්ව තිබීම මෙයට හේතු වනවා. එනමුත් මේ සම්බන්ධයෙන් හරියාකාර වැටහීමක් ලබගතහොත් එය ඉතාමත් සරල දර්ශකයක් බව වැටහීයනවා නොඅනුමානයි. මා මුලින්ම විස්තර කරන්නම් මල්ටිමීටරයක තිබෙන ඕම්ස් මීටරය භාව්තයට ගන්නා ආකාරය ගැන.
මල්ටිමීටරයේ දර්ශක තිරය
























ඉහත රූප සටහනේ කොළ පාට වර්ණය මහින් සලකුණු කර තිබෙන්නේ ඕම්ස් මීටරයට අදා පාඨාංක ලබා ගත හැකි දර්ශක තීරයයි. මෙම දර්ශක තීරයේ පොදුවේ ගත් විට 0 සිට 500 දක්වා කඩින් කඩ අගයනුත් 1k සහ 2k යන අගයනුත් දක්නට ලැබෙනවා. එලෙසම අප මල්ටිමීටරයක ඕම්ස් මීටරය මගින් පාඨාංක ලබා ගැනීමේදී මල්ටිමීටරයක දක්නට ලැබෙන Meter Selector එක ඕම්ස් අගයන්ට අදාල කොටසට යොමුකරගතයුතුයි.
ඉහත රූප සටහනේ B යනුවෙන් හදුන්වා ඇත්තේ Meter Selector කොටස වන අතර එය ඕම්ස් අගයන්ට අදාලව අවම අගයන් ලබාගත හැකි කොටස හෙවත් X1 වෙත යොමු කර තිබෙනවා. එලෙසම මෙහි ඔබට දැකගත හැකි X10, X100, X1K සහ X10K යනුවෙන් හැදින්වෙන ස්ථානයන්ද අදාල වනුයේ ඕම්ස් අගයක් මැන ගැනීම වෙනුවෙනුයි. එලෙසම මල්ටිමීටරයක් භාවිතා කිරීමේදී එයට අදාලව තිබෙන පරීක්ෂක අග්‍ර සම්බන්ධ කරන ආකාරයද  ඔබ දැන ගත යුතු වනවා. මෙහි C යනුවෙන් හදුන්වා තිබෙන ස්ථානයට අනිවාර්යෙන්ම සම්බන්ධ ව්ය යුත්තේ කලු වර්ණයෙන් යුත් පරීක්ෂක අග්‍රයයි. එය Common අග්‍රය ලෙසද හැදින්වෙනවා. මෙහි D යනුවෙන් හැදින්වෙන ස්ථානයට රතු වර්ණයෙන් යුත් පරීක්ෂක අග්‍රය සම්බන්ධ කලයුතු වනවා. ඕම්ස් අගයන් ලබා ගැනීමේදී නම් මෙම අග්‍රයන් සවිවන ආකාරය වැදගත් නොවන නමුත් අනුකුත් පාඨාංකයන් ලබා ගැනීමේදී අදාල අග්‍රයන් නිවැරදිව සවි නොකිරීම හේතුවෙන් මල්ට්මීටරය අක්‍රිය විය හැකි බැවින් පුරුද්දක් ලෙස මල්ටිමීටරයට පරීක්ෂක අග්‍රයන් සවිකිරීමේදී අදාල සම්මතයන් අනුගමනය කිරීම වැදගත් වනවා.

ඉහත පරිදි පරීක්ෂක අග්‍රයන් සවි කර ගැනීමෙන් අනතුරුව ඕම්ස් අගයන් පරීක්ෂා කිරීමට පෙර මල්ටිමීටරය සීරු මාරු (Adjust) කරගත යුතුයි. මේ සදහා A යනුවෙන් හදුන්වා ඇති කරකැවිය හැකි කොටස  (Adjustor) භාවිතා කළ හැකියි. මෙහිදී ඔබ පරීක්ෂක අග්‍රයන් දෙකෙහි අග ඇති සන්නායක කොටස් එකනෙක ස්පර්ෂ කලයුතු අතර එවිට දර්ශක තිරයේ පාඨාංක දක්වනය, දර්ශක තිරයේ 0 නැමති ස්ථානය අසලට ලගා වීම සිදුවනවා. මෙසේ කිරීමේදී ඔබේ අතැගිලි අදාල සන්නායක කොටස් මත ස්පර්ෂ නොවිය යුතුයි. මෙම පාඨාංකයන් නිවැරදිව මැන ගැනීමට නම් දර්ශක තිරයේ ඇති දර්පණයේ සහායද ලබා ගතයුතු වනවා. එනම් පාඨාංක දක්වනයත්, දර්පණයෙන් පෙනෙන පාඨාංක දක්වනයේ ප්‍රතිබිම්බයත් දර්ශක තිරයේ 0 අදාලව තිබෙන කුඩා ඉරි කැබැල්ලත් සමපාත විය යුතුයි. එසේ සමපාත නොවන්නේ නම්  ඉහත පරිදි සමපාත වනතුරු සළකුණ මගින් දක්වා ඇති Adjustor එක සීරු මාරු කරගත යුතුයි. මෙසේ සීරු මාරු කර ගැනීමෙන් අනතුරුව රෙසිස්ටරයක ඕම්ස් අගය මැන ගැනීමට නම් එම රෙසිස්ටරයේ එක් අග්‍රයක් හෝ පරිපථයෙන් ඉවත් කල යුතු වනවා. එලෙසම කිනම් අවස්ථාවකදී හෝ පරිපථයට විදුලිය ලබා දී ඇති විටෙක ඕම්ස් මීටරය මගින් අදාල පරිපථයේ ඇති රෙසිස්ටරයක අගය මැන ගැනීම නොකළ යුතුයි. මන්ද එවැනි අවස්ථාවකදී පරීක්ෂක අග්‍ර හරහා ඕම්ස් මීටරයට විදුලිය පැමිනියහොත් මල්ටිමීටරය අකිය තත්වයට පත් වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බැවිනි. පරිපථයක ඇති විවිධ අගයන්ගෙන් යුතු රෙසිස්ටර් කිහිපයක අගය මැන ගන්නා අයුරු මීලග ලිපියෙන් විමසා බලමු.

No comments:

Post a Comment