Social Icons

Showing posts with label Electronics Basic. Show all posts
Showing posts with label Electronics Basic. Show all posts

Sunday, August 4, 2013

..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::..


PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා 
  • ආර්ට් පේපර් එකක් 
  • ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)
  • අයන් එකක් 
  • කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )
  • ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)
  • එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)
  • ස්පොන්ච් කැබැල්ලක්
  • ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)
  • කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ප්ලාස්ටික් භාජනයක් 
 මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)
ඉන්පසු එය පසෙකින් තබා ඔබ කොපර් බෝඩ් එක ගෙන එය හොදින් පිරිසිඳු කරගන.(කොපර් බෝඩ් වාතයට නිරාවරණය වූ විට පුස් සැදේ. ඒවා අයින් කල යුතුය.)
 
ඉන්පසු ප්‍රින්ට් කරගත් අර්ට් පේපරය කොපර් බෝඩ් එක මත නිසියාකාරව තබා ගන්න (බෝඩ් එකෙන් පිට නොයන අයුරින්)
ඉන්පසු අයන් එක ගෙන හොඳින් අයන් කරගන්න.සැ.යු:-කොපර් බෝඩ් එක ගැනත් සෙවිල්ලෙන් ඉන්න.ඕනවට වඩා රත් වුවෝත් කොපර් පතුරු ගැලවී යා හැක.) 
ඉන්පසු කොපර් බෝඩ් එකට පේපර් එක හොඳින් ඇලවුනාට පසු හොඳින් නිවෙන්නට හැර වතුර භාජනයකට දමා පෙඟෙන්නට හැරින්න.පසුව රූපයේ පෙනෙන පරිදි සෙමින් කඩදාසි කොටස් ඉවත් කරන්න.(ප්‍රින්ට් කොටස් යන්නේනම් ඒ කොපර් බෝඩ් එකට හොඳින් ඇලවී නැත යන්න පැහැදිලිය.එම නිසා වතුරට දාන්න පෙර එම කටයුතු නිසියාකාරව සිදු කරගන්න.)
නිසියාකාරව සිදු කලේනම් රූපයේ පෙනෙන පරිදි දිස්වේ 
ඉන්පසු ප්ලාස්ටික් භාජනයට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය දමා එයට කොපර් බෝඩය දමන්න.සැ.යු:-ෆෙරික් ක්ලෝරයිඩ් තනුක කරගත්ත ඒවනම්  යොදාගන්නේ උණුවතුර ටිකකට සම සමව එකතු කරගන්න.සාන්ද්‍ර නම් එසේ කිරීමට අවශ‍ය නැත. 
සැමවිටම ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය තම අතින් ඇල්ලීමෙන් වලකින්න.මේ සඳහා ටුව්සරයක් හෝ ප්ලාසිටික් යම් දෙයක් භාවිත කරන්න. 
සාන්ද්‍රා ක්ලෝරයිඩ් වලින් දිය කරන්නේ නම් විනාඩි 10-15 අතර කාලයකිනුත් , තනුක නම් විනාඩි 30ක් පමන කාළයක් ගතවේ. සම්පූර්ණ දියවූ පසු භාජනයෙන් ඉවතට අරන් පිරිසිඳු ජලපහරකට අල්ලා වියලාගෙන එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover) දමා හොඳින් සුද්ද කරගන්න.

Circuit Skills: Circuit Board Etching

Making of PCBs at home, DIY using inexpenive materials

Do-it-yourself LED matrix

led matrix 8x40 WMV V9

අදුර වැටෙද්දි 230V බල්බයක් ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථය..Dark activated 230V Bulb


ආලෝක සංවේදී ප්‍රතිරෝධක සම්බන්ධව විස්තර කල පළමු ලිපියේදී මා ඔබට පොරොන්දු වූවා එල්.ඩී.ආර් උපාංගයක් භාවිත කරමින් 230V බල්බයක් දල්වාගත හැකි පරිපථයක් ලබා දෙන බවට. පොරොන්දුවූ පරිද්ද්දෙන්ම අදාල පරිපථය සම්බන්ධවයි මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ හා සමාන පරිපථ සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ පරික්ෂා කිරීමේදී බොහෝ විට හමු වන්නේ 230V විදුලි සම්බන්ධ්තාවයට අමතරව එල්.ඩී.ආර් උපාංගය අයත් පරිපථ කොටසට විදුලිය ලබා දීම සදහා වෙනම බල සැපයුම් අව්ශ්‍ය වන පරිපථ නමුත් මෙම පරිපථය සදහා එවැනි අවශ්‍යතාවයක් මතු නොවන්නේ මේ සදහා කැපෑසිටර් ආශ්‍රයෙන් හීන කරන ලද බල සැපයුමක් යොදා ඇති නිසයි
රු. 75/= වැනි සුළු මුදලක් වැයකර ඉහත පරිපථයට අව්ශ්‍ය උපාංග ලබා ගත හැකි අතර පරිපථයේ දක්වා ඇති ආකාරයට නිවැරදිව පරිපථය ගොඩ නගාගැනීමෙන් අනතුරුව 230V විදුලිය හා වොට් 60ක සූත්‍රිකා බල්බයක් නියමිත ස්ථානයන්ට සම්බන්ධ කරගතයුතුය.

පවතින ආලෝක තත්වයක් යටතේ බල්බය දල්වා ගැනීම සදහා VR2 ලෙස සදහන් 10K විචල්‍ය ප්‍රතිරෝධකය ප්ලාස්ටික් වැස්මක් සහිත නියනක් ආධාරයෙන් සීරු මාරු කරගත යුතුවන අතර කිසිවිටෙකත් මෙම පරිපථය හෝ එහි උපාංග විදුලිය ලබා දී ඇති විටෙක දෑතින් හෝ ශරීරයට ස්පර්ශ නොවීමට වග බලා ගන්න. 230V මාරාන්තික විදුලිය මෙම පරිපථය තුළ ගමන් කරන බැවින් සුළු ආරක්ෂිත උප්ක්‍රමයක් ලෙස විදුලිය ලබා දීමේදී සජීවි වයරය (L) කැපෑසිටරය වෙත සම්බන්ධකරගන්න.
මෙම පරිපථයට අදාල සියළු උපාංග පිටකොටුවේ පළවන හරස් වීදියේ මයිකෝ ඉලෙක්ට්‍රොනික් ඉදිරිපිට ඇති වික්‍රම ප්ලාසා ගොඩනැගිල්ලේ පලවන මහලේ පිහිටි Sakana වෙළද සැල මගින් ලබා ගත හැකි අතර පරිපථය එකලස් කිරීම සදහා වෙරො බෝඩ් එකක් ද ලබා ගන්න. 

අදුර වැටෙන විට ස්වයංක්‍රීයව දැල්වෙන බල්බයක්...


ආලෝකයට සංවේදීව ක්‍රියාත්මක වන එල්.ඩී.ආර් උපාංගය සම්බන්ධව පසුගිය සතියේ සාකච්චා කල බව ඔබට මතක ඇතැයි විශ්වාස කරන අතරම මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ එල්.ඩී.ආර් උපාංගයක් යොදාගෙන සරල ප්‍රායෝගික පරිපථයක් ගොඩනගන ආකාරයයි.ආලෝක සංවේදී උපාංගයක මිළ රු.10ක් හෝ ඊට ආසන්න වන අතර විශාලත්වය අනුව මෙම උපාංගයේ මිළ රු.10/= සිට රු.50/=  දක්වා වෙනස් වන බවත් මතකයේ තබා ගන්න.

මෙම පරිපථයේදී භාවිතාකර ඇත්තේ PNP වර්ගයේ BC557 ට්‍රාන්සිස්ටරයක්(Q1), එල්.ඊ.ඩී යක්(D1), එල්.ඩී.ආර් උපාංගයක් (R1) සහ ප්‍රතිරෝධකයන් දෙකක් පමණයි(10K V/R, 470). නමුත් මෙම කුඩා පරිපථය මගින් එල්.ඩී. ආර් උපාංගයක ක්‍රියාකාරීත්වය ඉතා සරලවම හැදෑරිය හැකිවා සේම මේ සදහා ඔබට වැය වන්නේ රු. 25=ක් වැනි ඉතා සුළු මුදලක් පමණයි.
පරිපථයේ සැබෑ පෙනුම සහ PCB සටහන



ආලෝකය නොමැති විටදී මෙම පරිපථයේ ඇති එල්.ඊ.ඩී ය ඉතාමත් දීප්තිමත්ව දැල්වෙන අතර ආලෝකය ලද වහාම එහි දීප්තිය ක්‍රම ක්‍රමයෙන් හීන වී යාම සිදුවේ. VR1 ලෙස සදහන් වන අගය වෙනස් කළ හැකි 10K ප්‍රතිරෝධකයේ (Variable Resistor) අගය වෙනස් කිරීම මගින් කුමන ආලෝක තත්වයක් යටතේ එල්.ඊ.ඩීය දැල්විය යුතුද යන්න තීරණය කළ හැකිවේ.ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධක අගය අඩුවන විට එය හරහා ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය මතට ප්‍රකෘති වීමට (Base bias) අවශ්‍ය වන ධාරාව ලැබීමේදී එහි කලෙක්ටරය හා එමීටරය අතර ධාරව ගලා යාමට ඉඩ සැලසීම මගින් පරිපථයේ ඇති එල්.ඊ.ඩීය විමෝචනය වීම මෙහි සිදුවන සමස්ථ ක්‍රියාවලිය ලෙස සරලව හැදින්විය හැකිය. මෙම පරිපථය ප්‍රායෝගිකව අත් හදා ඇති අතර විනෝදාංශයක් ලෙස හෝ මෙවැනි සරල පරිපථ අත් හදා බලන ලෙසට මා ඔබට දන්වනු කැමැත්තෙමි. මෙයට අදාල වන සියළුම උපාංග මයිකෝ ඉලෙක්ට්‍රොනික් ඉදිරිපිට ඇති වික්‍රම් ප්ලාසා ගොඩනැගිල්ලෙහි (No. 39) පලවෙනි මහලේ ඇති වෙළදසැල් මගින් රු.25/= ක් වැනි සුළු මුදලකට ලබා ගත හැකියි. මෙම පරිපථයම සුළු වශයෙන් වෙනස් කරමින්  230V ප්‍රධාන විදුලියෙන් සාමාන්‍ය විදුලි බුබුලක් දල්වන ආකාරය සම්බන්ධව මීලග ලිපියෙන් විමසා බලමු.

Polyester කැපෑසිටර් හදුනාගන්නේ මෙන්න මෙහෙමයි!!


සමහර අයට Non Electrolytic කැපෑසිටර්ස් හදුනාගන්න අපහසු වුනු බව, කමෙන්ට් බල බලා ඉන්න කොටයි දැක්කේ. ප්‍රතිපත්තියක් විදියට මේ බ්ලොග් එකේ පරිපථයක් ඉදිරිපත් කලා නම් ඒ දේ කලේ අවශ්‍ය කරන සියළුම උපාංග සම්බන්ධව විස්තරාත්මකව හැදින්වීමක් කිරීමෙන් අනරුතුවයි. කෙසේ වෙතත් ප්‍රධාන විදුලියෙන් එල්.ඊ.ඩී දල්වන පරිපථවල තිබෙන Polyester කැපෑසිටර් හදුනාගන්න ක්‍රම වේදයගැන ගැන සාකච්චා කිරීම මග හැරී ගොසින්.

කැපෑසිටර් සම්බන්ධව සාකච්චා කළ ලිපියේදී මා ඔබට පැවසුවා ධන රින වශයෙන් අග්‍ර නම් කෙරෙන  (Electrolytic) සහ එසේ ධන රිණ වශයෙන් අග්‍ර වෙන් නොකෙරෙන (Non Electrolytic) කැපෑසිටර් වර්ග භාවිතයේ තිබෙන බව. මෙයින් Electrolytic කැපෑසිටර් වල නම් අනිවාර්යෙන්ම එයට අදාල ෆැරඩ් ප්‍රමාණය සහ වෝල්ටීයතාවය අදාල උපාංගය මතම මුද්‍රණය කර තිබෙනවා. එසේම පාද හදුනාගැනීමත් ඉතාමත්ම පහසු වන්නේ රිණ අග්‍රය (-) සංකේතය මගින් කැපෑසිටරයේ බදෙහි සළකුණු කර තිබෙන බැවින්. Non Electrolytic කැපෑසිටර් වල ධන රිණ බේදයක් නොමැති නිසා අග්‍ර හදුනාගැනීමේ ගැටළුවක් පැණ නොනැනගුනත්, ෆැරඩ් අගයන් හදුනා ගන්න වෙන්නේ නම් ඊට අදාල පහසු ක්‍රමවේදයක් මගින්.

Polyester කැපෑසිටර් වල 105, 104, 224 ආදී වශයෙන් ඉලක්කම් 03කින් සමන්විත අංකයක් මුද්‍රණය කර තිබෙන අතර මෙයින් මෙයින් මුල් අංක දෙකේ අගයන් එලෙසින්ම ගත යුතු අතර අවසාන අංකයට සමාන බින්දු ප්‍රමාණයක් ගණනය කළ යුතු වනවා. උදාහරණයක් ලෙස 334 යන අංකය ගතහොත් එය 330000 ලෙස පරිවර්ථනය කරගත යුතුයි. මෙසේ පරිපර්ථනය කරගත් පසු ලැබෙන අගය අදාල කැපෑසිටරයේ පිකෝ ෆැරඩ් (pF) අගයයි. මෙය නැනෝ ෆැරඩ් (nF) බවට පරිවර්ථනය කර ගැනීමට නම් 1000න් බෙදා ගත යුතු අතර මයික්‍රෝ ෆැරඩ් (uF) බවට පරිවර්ථනය කර ගැනීමට නම් 1000000න් බෙදා ගත යුතු වනවා. එනම් 334 යන්නෙහි අගය මයික්‍රෝ ෆැරඩ් .33 (.33uF) බව ඔබට වැටහෙනවා නේද?

පිකෝ ෆැරඩ් 1000 ක්  නැනෝ ෆැරඩ් 1 කි (1000pf = 1nF)
නැනෝ ෆැරඩ් 1000 ක් මයික්‍රෝ ෆැරඩ් 1 කි (1000nF = 1uF)

එලෙසම කැපෑසිටරයේ අංක 3ට ආසන්නයෙන්ම ඉංග්‍රීසි අන්ෂරයක්ද මුද්‍රණය කර තිබෙන බව ඔබට පෙනී යනවා ඇති. කැපෑසිතරයට අදාල ෆැරඩ් ගණන වෙනස් විය හැකි ප්‍රතිශතය මෙම ඉංග්‍රීසි අක්ෂරය මගින් ලබාගත හැකියි.
 


 උදාහරණයක් ලෙස කැපෑසිටරයේ මුද්‍රණය වී ඇත්තේ 334J ලෙස නම් එහි අගය මයික්‍රෝ ෆැරඩ් .33ක් වන අතරම භාවිතා කිරීමේදී ෆැරඩ් අගය වෙනස් විය හැකි ප්‍රතිශතය 5%කි. මෙහි 400V යනුවෙන් සදහන් කර ඇත්තේ මෙයට දරා ගත හැකි උපරිම වෝල්ටීයතාවයයි. වර්ණක තීරුවක් පමණක් මුද්‍රණය කර ඇති Polyester කැපෑසිටරයන්හි අගය මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉදිරි ලිපියක් මගින් සාකච්චා කරමු.

පුංචි වුනත් ලොකු වැඩ කරන පුළුවන් NE 555


ඉලෙක්ට්‍රොනික් ලෝකයේ නම් මේ නම අහල නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒත් නොදන්න අය බලනවා ඇති මොකක්ද මේ NE555 කියන්නේ කියලා. පසුගිය ලිපියන් අප සාකච්චා කලේ සංගෘහිත පරිපථ (Intergrated Circuit) හෙවත් අයි.සී. ගැනනේ. ඉතින් අයි.සී. එකක් උපයෝගී කරගෙන පරිපථ නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ මෙන්න මේ NE555 අයි.සී. එකයි. ප්‍රමානයෙන් ඔබේ නියපොත්තකටත් වඩා කුඩා වුවත් එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා ගත හැකි විවිධාකරයේ ඉලෙක්ට්‍රොනික පරිපථ විශාල ප්‍රමාණයක් මෙම සංගෘහිථ පරිපථය ආශ්‍රයෙන් ඉතා පහසුවෙන්ම ගොඩ නගාගත හැකියි. මෙම සංගෘහිථ  පරිපථය Astable, Monostable සහ Bistable  යන ඉලෙක්ට්‍රොනික් සංසිද්ධීන් අන්තර්ගතවන ආකාරය නිපදවා තිබීම එයට ප්‍රධානම හේතුවයි.
පාද අටකින් සමන්විත වන මෙම සංගෘහිත පරිපථයට වෝල්ට් 3-15ත් අතර ප්‍රමාණයක් ලබා දිය හැකි අතර 1වන පාදයට රිණ (0V) විදුලියත් 8වන පාදයට ධන (+V) විදුලියත් ලබා දිය යුතු වනවා. එමෙන්ම 2වන සහ 4වන පාදයන් හට විධානයන් ලබා දිය හැකි අතරම 3වන පාදය මගින් විධානයන්ට අනුරූපිව සංගෘහිථ පරිපථයේ ප්‍රතිඵලයන් නිකුත් කිරීම සිදු කරනු ලබනවා.ට්‍රාන්සිස්ටරයක මෙන් නොව සංගෘහිත පරිපථක පාද නිර්ණය කර ගැනීම  ඉතාමත් පහසුවන අතර සංගෘහිත පරිපථයේ අංක සහ අකුරු මුද්‍රණය කර තිබෙන මුහුණත කොටස අකුරු කියවිය හැකි ආකාරයට හරවා ගත් කළ නිතැතින්ම වම් පසට වන්නට පහළින්ම පිහිටන අග්‍රය 01 වන අග්‍රය ලෙස හදුනාගැනීම සිදු කළ හැකියි. 01වන අග්‍රයේ සිට දකුණු පසට වන්නට අනුක්‍රමිකව අනිකුත් අග්‍රයන් (1,2,3,4,..)  පිහිටන අතර එක් පසක අවසාන අග්‍රයේ විරුද්ද දිසාවේ ඇති මුල්ම අග්‍රය අනුක්‍රමික ශ්‍රේණිය මීලග අග්‍රය ලෙස පිහිටනවා. එලෙසම 1වන අග්‍රයට ආසන්නයෙන් සෑම අයි.සී. එකකම කුඩා කැපුමක්ද (X ලෙස සළකුණු කර ඇත) දැකිය හැකි වනවා.


 සංගෘහිත පරිපථයක් අභ්‍යන්තරයේ අන්තර්ගතව ඇත්තේ සරල හෝ සංකීර්ණ පරිපථයක් බව මේ වන විට ඔබ දැනුවත් වී හමාරයි. අප අද සාකච්චා කරන NE555 අභ්‍යන්තරයේ ට්‍රාන්සිස්ටර් 20කට අධික ප්‍රමාණයක්ද, රෙසිස්ටර් 15කට ආසන්නව සහ අවම වශයෙන් ඩයොඩයන් 2ක් පමණද අන්තර්ගතවනවා. මේ සදහා හොදම නිදසුන නම් අයි.සී. එක අභ්‍යන්තරය දැක්වෙන පහත රූපසටහනයි.
 වර්ථමානයේ භාවිතා වන සරල සහ සංකීර්ණ පරිපථයන් බොහොමයක ඝටිකාවක් ලෙස බහුලවම යොදා ගැනෙන්නේ NE555 වන අතර විනෝද ජනක ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා, ආලෝක දැල්වුම් පරිපථ, මෙන්ම තාප , ජල සහ ආලෝක සංවේදී පරිපථයන් සියල්ලකම පාහේ යොදාගැනෙන්නේද මෙම සංගෘහිත පරිපථයයි.  විවිධ කාණ්ඩයන් යටතේ ක්‍රියාකාරීත්වය සුළු වශයෙන් වෙනස් කරන ලද 555 කාන්ඩයේ සංගෘහිත පරිපථයන්ද වෙළදපලේ දක්නට ලැබෙන අතර මෙම අයි.සී. එක ආධාරයෙන් Astable, Monostable සහ Bistable ක්‍රියාකාරීත්වයෙන් යුත් සරල පරිපථ ගොඩනගන ආකාරය මීළග ලිපියෙන් විමසා බලමු.

ප්‍රධාන කොටම  ඉලෙක්ට්‍රොනික් විෂය ඉලක්ක කරගෙන ආරම්භ කළ මෙම බ්ලොග් අඩවිය මේ වන විට සිය 50 වන තාක්ෂණික ලිපිය එළි දැක්වීමට ආසන්නව සිටිනවා. මෙම බ්ලොග් අඩවියේ පරිශීලකයන් අතර බොහෝ විට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධයෙන් මා නොදන්නා ඉසව් ප්‍රගුණ කරඇති ප්‍රවීනයන්ද සිටින බව විටින් විට ලබා දෙන ප්‍රතිචාර අනුව පෙනීගිය කරුණක්. එලෙසම යම් යම්  පෞද්ගලික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාව තුළදී ලිපි ඉදිරිපත් කිරීම පමාවූ අවස්ථාවන්හීදී ඒ ගැන විමසමින් ඊ.මේල් එවීමට සහ ප්‍රතිචාර (comments) මගින් විමසීමට පවා සමහරුන් පෙළබුණ බව මා ඔබට පැවසිය යුතුයි.  මේ සියල්ලක්ම සැලකිල්ලට භාජනය කරමින් ඉලෙක්ට්‍රොනික් උදෙසාම ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රථම සහ එකම වෙබ්  ෆෝරමය  Electronic Inside ලෙස අද පටන් ඔබගේ පරිශීලනයට යොමුකර සිටිනවා. මෙම බ්ලොග් අඩවිය මේ තරම් දුරක් ගෙන ඒමට දායක වූ පරිශීලනය කරන ඔබෙගේ අදහස් එලෙසින්ම මෙම නව වෙඹ් අඩවිය වෙනුවෙන්ද යොමුකරන මෙන් සහෘදත්වයෙන් යුතුව ආයාචනා කර සිටිනවා. විශේෂයෙන්ම මග හැරී ඇති හෝ ඉවත් කළ යුතු මාතෘකාවක් වේ නම් ඒ බව නොපමාව දැනුම් දෙන්න. එලෙසම මෙම බ්ලොග් අඩවියටද අද පටන්  http://blog.electronicinside.com යන ලියාපදිංචි  වෙබ් නාමය යටතේ පැමිණිය හැකියි. අදාල ඩොමේනය අවුරුදු 02ක කාල සීමාවකට ලියාපදිංචි කොට පරිත්‍යාග කළ සහෘදයාටද මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබටද මාගේ හදපිරි ප්‍රණාමය!

මොකක්ද මේ අයි.සී එකක් කියන්නෙ? What is an IC?


මේ වන විට ඉලෙක්ට්‍රොනික් Lab බ්ලොග් අඩවිය හරහා ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්‍රයට අදාල වන මූලික උපාංග බොහොමයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. ඉලෙක්ට්‍රොනික් පරිපථයක් හොඩනැගීමේදී අත්‍යවශ්‍යයෙන්ම උවමනා වන තවත් එක් උපාංගයක් තමයි මේ සංගෘහිත පරිපථයක් (Integrated Circuit) හෙවත් අයි.සී එකක් ලෙස කෙටි යෙදුමෙන් හදුන්වන්නේ.සැබවින්ම පරිපථයක් තුළ තිබෙන තවත් එක් කුඩා පරිපථයක් ලෙස මෙම උපාංගය සම්බන්ධයෙන් සරලව විස්තර කළ හැකියි. මීට කලින් විස්තර කළ රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ වැනි උපාංගයන්ගෙන් සැදුම්ලත් යම් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවුන පරිපථ විශේෂයකුයි සංගෘහිත පරිපථ ලෙස හැදින්වෙන්නේ.පහත රූප සටහන මගින් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඇම්ප්ලිෆයර් පරිපථයන්හි බල වර්ධකයක් ලෙස යොදාගන්නා STK 4191 II නැමැති අයි.සී. එකේ අභ්‍යන්තරයයි.

සංගෘහිථ පරිපථයක අභ්‍යන්තරය
වචනාර්ථයෙන්ම සංගෘහිත පරිපථයක් යනු තවත් එක් පරිපථයක්ම යන වගට ඉහත රූප සටහන කදිම නිදසුනක්. නමුත් භාවිතයේ පවතින සෑම අයි.සී. එකකම අභ්‍යන්තරය මෙසේ දැක බලා ගත නොහැකි වුවත් බල වර්ධක කාණ්ඩයේ සමහර සංගෘහිත පරිපථයන්හි ඇති ප්ලාස්ටික් වැස්ම ඉවත් කළ හැකි ආකාරයට ඉහත පරිදි නිපදවා තිබෙනවා. ඇනලොග් (Analog) සහ ඩිගිටල් (Digital) වශයෙන් සංගෘහිත පරිපථයන් දෙවර්ගයක් වන අතරම මෙම ලක්ෂණ දෙකම සම්ම්ශ්‍රණ වූ සංගෘහිත පරිපථයන්ද  (Mixed Signal) දැකිය හැකියි.ඔබ මෙම බ්ලොග් සටහන කියවන පරිඝනකය තුළ මෙම තෙවර්ගයේම සංගෘහිත පරිපථයන් අන්තර්ගත වනවා. පරිඝණකයේ බල සැපයුමෙහි ඇනලොග් අයි.සී. ද මව් පුවරුව තුළ ඩිගිටල් අයි.සී ද  Sound Card එක තුළ ඇනලොග් සහ ඩිගිටල් සම්ම්ශ්‍රණයෙන් යුත් සංගෘහිත පරිපථයන්ද දැකිය හැකි වනවා.
සංගෘහිථ පරිපථයක බාහිර පෙනුම

 අප භාවිතා කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික් උපාංග තුළ අඩංගුවනුයේ ඇනලොග් වර්ගයේ අයි.සී. වන නමුත් වර්ථමානයේ වෙළදපළට පැමිනෙන නවීන උපාංග තුළ ඩිගිටල් වර්ගයේ සංගෘහිත පරිපථයන් දැකිය හැකියි. අතිතයේදි අප භාවිතා කළ ස්ටීරියෝ කැසට් රෙකෝඩරයේ ඩිගිටල් අයි.සී නොතිබුණ මුත් වර්ථමානයේදී පැමිණෙන වෝක්මන් තුළ පවා ඩිගිටල් අයි.සී. අන්තර් ගත වනවා.. ප්‍රධාන කොටම සංඤා හෝ ධාරා පාලකයක් ලෙස ඇනලොග් අයි.සී යොදා ගැනුනද තාර්කික ද්වාරයන් (Logic Gates) ආධාරයෙන් ඉතා සංකීර්ණ ක්‍රියාදාමයන් සරල කර ගැනීමට ඩිගිටල් අයි.සී. යොදා ගත හැකියි.
සංගෘහිථ පරිපථයේ සංකේතය
සංගෘහිථ පරිපථයන් විවිධ ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර නිශ්පාදනයේදී විශේෂ ආකාරයකට ඉංග්‍රීසි අක්ෂර සහ අංක සම්මිශ්‍රණයෙන් හදුනාගැනීමේ අංකයක් ලබා දේ. සියළුම සංගෘහිත පරිපථයන්හි මතුපිට මෙම අංකය මුද්‍රණය කර තිබීම හේතුවෙන් හදුනාගැනීම ඉතාමත්ම පහසුය. එලෙසම සංගෘහිථ පරිපථයකින් ඉටු කරගැනෙන කාර්යය විස්තර කර තිබෙන දත්ත වගු මෙන්ම ක්‍රියාකාරීත්වයේදී එක් එක් පාදමයේ (Pin) තිබිය යුතු වෝල්ටීයතාවය සදහන් දත්ත සටහන්ද (IC Data Sheet) බොහෝ විට අන්තර්ජාලය මගින්ම ලබාගතහැකිය. ඇනලොග් අයි.සී. ආධාරයෙන් එදිනෙදා ජීවිතයට අවශ‍ය වන පරිපථයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලිපි පෙලක් ඉදිරියේදී මෙම බ්ලොග් අඩවිය මගින් ලබා දීමට බලාපොරොත්තු වන අතරම ඩිගිටල් අයි.සී භාවිතා කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් තිබෙන බුද්ධික, ශ්‍රීනාත් මධුශංක, කාංචන දිනූක වැනි සහෘදයන්  විසින් ඩිගිටල් ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව  සිංහල බ්ලොග් අවකාශය දැනුවත් කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.

එදිනෙදා ජීවිතය වඩාත් පහසු කරවන සුහද මිතුරා ඉලෙක්ට්‍රොනික්!!

ඉතාමත් කෙටි කාල සීමාවක් තුළ බ්ලොග් අඩවිය හඹා එන්නන් සංඛ්‍යාව අර්ධ ශතකයක් දක්වාත් වෙබ් පිටු පිරික්සුම් අවස්ථා ගණන 16,000 සීමාවත් පසුකර අවසන්. ඉලෙක්ට්‍රොනික් ගැන  දැනුවත් වන්නට මේ තරම්ම ඔබව උනන්දු කරවන්නට හේතුව වගේම ඉලෙක්ට්‍රොනික් සම්බන්ධයෙන් තිබෙන දැනුම නිසා මෙතෙක් කලක් ජීවිතය තුළ මා ලැබූ අත්දැකීම් කීපයක් ඔබ සමග බෙදා ගන්නට මා බලාපොරොත්තු වනවා.  සැබවින්ම ඉලෙක්ට්‍රොනික් සම්බන්ධයෙන් මා දැන ගත්තේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ නගරයේ පාසලට පැමිණි සමයේදී. මේ බ්ලොග් අඩවියේ ලිපියක් මගින් මා විස්තර කර තිබෙන එල්.ඊ.ඩී දෙකක් මාරුවෙන් මාරුවට දැල්වෙන පරිපථය  නිර්මාණය කළ සිසුන් කිහිපදෙනෙකු දැකීමෙනුයි මා මේ විෂය සම්බන්ධයෙන් බැදීමක් ඇති කර ගත්තේ.හරියටම ඒ 1987 වසරේදී.

එහෙත් පාසල් කාලය තුළදී කිසිවිටෙකවත් ඉලෙක්ට්‍රොනික් විෂයය ඉගෙනීමට මා හට අවස්ථාවක් ලැබුනේ නැහැ. එවකට තිබූ ආර්ථික තත්වය තුළ ඉලෙක්ට්‍රොනික් වැනි විෂයක් හැදෑරීමේදී දැරිය යුතු අමතර වියදම් වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නොතිබීම ප්‍රධානතම හේතුව වූවා. ඉදින් ඉලෙක්ට්‍රොනික් විෂයට මහත් ආසාවක් දැක්වූවත් තාක්ෂණික විෂයක් ලෙස මා හැදෑරුවේ කෘෂිකර්මය. විෂයයක් ලෙස ඉලෙක්ට්‍රොනික් හැදෑරුවේ නැතත් ඉඩ ලද හැම විටකම ඉලෙක්ට්‍රොනික් විද්‍යාගාරයට පිවිසීමත් මේ විෂය සම්බන්ධව අනිකුත් සිසුන් හා සාකච්චා කිරීමත් මගේ දින චර්යාවේ එක් අංගයක් බවට පත්වූවා කියතහොත් වඩාත් නිවැරදියි.පාසල් පුස්ථකාලයේදීත් මා බොහෝවිට යොමුවුනේ ඉලෙක්ට්‍රොනික් පිළිබදව ඇති පොත්පත් කියවීමටයි. එලෙසම මුදලක් ලද වහාම මා මිළට ගත්තේ එල්.ඊ.ඩී, රෙසිස්ටර්. කන්ඩෙන්සර් වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග. කෙලෙසක හෝ 1991 වසර වන විට සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන විට තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් මා වඩාත් දැන සිටියේ ඉලෙක්ට්‍රොනික් සම්බන්ධවයි. එනමුත් සාමාන්‍ය පෙළට පෙනී සිටියේත් කෘෂිකර්මය විෂයටයි. එලෙසම සාමන්‍ය පෙළ සමත්ව වාණිජ්‍ය විෂයය ධාරාවෙන් උසස් පෙළ හෑදෑරූ මා හට 1994 අග භාගය වන විට ඉලෙක්ට්‍රොනික් විෂය සම්බන්ධව  ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිළයේ හැදෑරීමටත් අවස්ථාව හිමි වූවා. එක් අවුරුදු පාඨමාලාව අවසන් වනවාත් සමගම ඉලෙක්ට්‍රොනික ක්ෂෙත්‍රයට අදාල  ආයතනයක පුහුණුවන ඉලෙක්ට්‍රොනික තාක්ෂනික ශිල්පියෙකු ලෙස රැකියාවකට එක්වූවා. අදාල ආයතනය තුලදීම පරිඝණක දෘඩකාංග ශිල්පියෙක් ලෙස පරිඝණක තාක්ෂණය වෙත යොමු වූ මා පරිඝණක ක්‍රමලේඛණ භාෂාවන් ප්‍රගුණ කිරීමට නිරායාසයෙන්ම යොමුවූවා. එතැන් පටන් මේ දක්වාම මාගේ වෘත්තිය බැදී පවතින්නේ පරිඝණක ක්‍රම ලේඛණයන් හා නමුදු ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව මා ලබා තිබෙන දැනුම නිසාවෙන් එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් ඉටු කරගැනීමට මා හට අවස්ථාව උදාවූවා කියතහොත් ඉතා නිවැරදියි. 

නිවසේ විදුලි රැහැන් එළීමේ සිට (Wiring) අවථානුකූලව මතුවන යාවත්කාලීන කිරීම් මා විසින්ම සිදු කරගන්නේ ඉලෙක්ට්‍රොනික් නිසා මා ලද දැනුම උපයෝගීකරගෙනයි. එලෙසම නිවස ආලෝකමත් කිරීමටත් යොදා තිබෙන විදුලි බුබුළු බොහෝමයක් මේ බ්ලොග් අඩවියේම මා ඵල කර තිබෙන සී.එෆ්.එල් සහ ෆ්ලොරස්න්ට් මිශ්‍රිත ඒවා වීම විශේෂිතයි. රු. 650ක් පමණ වන සීලිං ලාම්පුවේ චෝක් කොටස වෙනුවටත් සී.එෆ්.එල් පරිපථ යොදා ගැනීම සේම බැටරිය දුර්වල වීම හේතුවෙන් තල්ලු දමා පණගැන්විය යුතු යතුරු පැදිය ට්‍රාන්ස්ෆෝමරයක් ආධාරයෙන් පණ ගැන්වීමත් ඉලෙක්ට්‍රොනික් එදිනෙදා ජීවිතයට සමීපවන අවස්ථා කිහිපයක්. වෙසක් උත්සවයට කැරකෙන පහන් කූඩු ෆ්ලෑෂර් කොටයක් මගින් ආලෝකමත් කලා සේම නත්තලට 555, 4017 වැනි අයි.සී යොදාගෙන එල්.ඊ.ඩී රටා මැවීමත් එකසේ විනෝදජනකයි. රටා මවන බල්ඹ් වැලක් කඩෙන් ගෙනවිත් ආලෝකමත් කරනවාට වඩා සතුටක් එකලස් කරගත් එල්.ඊ.ඩී මගින් ලබා ගන්නට හැකියාවක් තිබෙන බව ඉදුරාම පැවසිය හැකියි. එලෙසම රූපවාහිණිය අක්‍රිය වූ විට මෙන්ම කැසට් යන්ත්‍රයේ දෝෂ ඇති වෙන විටත් නිවසේදීම යථා තත්වයට පත් කරගැනීමට හැකි වීමත් ඉලෙක්ට්‍රොනික් විෂයට ඇළුම් කිරීමේ ප්‍රතිඵලයන්. රු. 850කට පමණ ලබා ගතහැකි  දුරස්ථ පාලකයක් සහිත රූපවාහිණි ඇන්ටනාවක ආයු කාලය අවුරුද්දක් වත් නොවන බව එය පාවිච්චි කරන්නවුන් අත්දැකීමෙන් දන්නවා. එනමුත් 2006 වසරේදී මිළදී ගත් ඇන්ටනාව මේ වන තුරුත් ක්‍රියාකාරී තත්වයේ  පවතින්නේ ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් මා සතුව ඇති නිසයි. එලෙසම යතුරු පැදියේ වුවද, මෝටර් රථයේ වුවද විදුලිය හා සම්බන්ධ අළුත්වැඩියාවන් නිවසේදීම සිදුකර ගැනීමට සමත්වීම තුළින් මා හට ඒ සදහා වැයවන මුදල් මෙන්ම වටිනා කාලයත් ඉතුරුකරගැනීමට හැකිවා මෙන්ම අවසානයේදී ලැබිය හැකි සතුට වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.

අවසාන වශයෙන් මා 1995 වසරේදී ලද අත්දැකීමක් ඔබ සමග බෙදාගන්නම්. එවකට රු.75,000ක් පමණ වටිනා Pioneer වර්ගයේ  5 Pieces Hi -Fi Setup එකක් එක්තරා මහතකු විසින් මා සේවය කළ ආයතනයට ගෙන ආවේ එය මුළුමනින්ම අක්‍රීය වී ඇති බව පවසමින්. එය පරීක්ෂා කළ පසුව දැන ගන්නට ලැබුනේ බල සැපයුමේ ඇති ෆියුස් කිහිපයක් දැවී ගොස් ඇති බවයි. එය නිවැරදි කොට ආයතන ප්‍රධානියාට දැනුම් දුන්නද ඔහු අදාල උපකරණය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් අයකළ මුදල රු. 7,500ක් පමණ පමණ වුවත් අදාල උපකරණය යථා තත්වයට පත්කිරීමට සැබවින්ම වැය වූයේ රු. 10 කටත් වඩා අඩු මුදලක්. Hi-Fi Setup එක හිමිකරු එය රැගෙන ගියේ  එය හදා ගන්න බැරි වුනා නම් රුපියල් 75,000/= පමණ නාස්ති වන්නට ඉඩ තිබූ බව පවසම්න්. එහෙත් මොහොතකට සිතන්න ඒ මහතා යම් තරමකින් හෝ ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව දැනුවත්ව සිටියා නම් අදාල යන්ත්‍රයේ බල සැපසුම් කොටස පමණක් ගලවා බලා රු. 10ක් වැය කර ෆියුස් කිහිපය මාරු කිරීමෙන් පමණක් අදාල උපකරණය යථා තත්වයට පත්වන බව දැන ගැනීමෙන් අති මහත් සතුටක් ලබන්නට ඉඩ තිබුණා නොවේද? ඉදින් මා ඔබට කියන්නේ විෂයක් ලෙස නොව විනෝදාංශයක් ලෙස ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් ලබා ගන්නට කියායි. අන් කවර විෂයකටත් වඩා ඉලෙක්ට්‍රොනික් ජීවිතයට සහය වනවා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවන බව ලිපිය කියවන ඔබද පිළිගන්නා බව ඒකාන්තයි.. මා භාවිතා කරන කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණයක් අක්‍රිය වීම නිසා ඉවත නොදැමීම සිදු නොකරන්නේ ඉලෙක්ට්‍රොනික් ගැන මා දැනුවත්ව සිටින නිසයි. මෙම ලිපිය කියවන ඔබ ඉලෙක්ට්‍රොනික් සම්බන්ධයෙන් අවම දැනුමක් හෝ ලබාගන්නට අදිටන් කරගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන්නෙමි. ඉලෙක්ට්‍රොනික් ගැන දැනුවත් වීමට ඔබ තවමත් ප්‍රමාද නැත. පාසලේදී විෂයක් ලෙස ඉලෙක්ට්‍රොනික් හැදෑරුවේ නැති වුවද, පාඨාමාලා සදහා සහභාගී නොවූවද එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන තරමේ දැනුමක් අන්තර්ජාලයෙන් පමණක් වුවද ලබා ගත හැකි බව මාගේ විශ්වාෂයයි!!!

ට්‍රාන්ස්ෆෝමරයක් යනු කුමක්ද?


මීට පෙර ඉදිරිපත් කල 230V ප්‍රධාන විදුලියෙන් එල්.ඊ.ඩී දල්වන පරිපථයන් දෙකම නිර්මාණය කොට තිබුනේ ට්‍රාන්ස්ෆෝමරයක් රහිතවයි. එනමුත් අප එදිනෙදා භාවිතා කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග වල 230V ප්‍රධාන විදුලිය උපකරණයට අවශ්‍ය වන වෝල්ට් අගයක් දක්වා පරිවර්ථනය කිරීමට භාවිත කරන්නේ ට්‍රාන්ස්ෆෝමරය නමැති උපාංගයයි. ඔබේ නිවසට විදුලි සැපයුම ලැබෙන්නේත් ට්‍රාන්ස්ෆෝමරයකින් වන අතරම ප්‍රධාන මාර්ගයන්ට ආසන්නව ස්ථාපිත කොට ඇති මෙවන් ට්‍රාන්ස්ෆෝමර් ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නැති අතර ඔබ එදිනෙදා පාවිච්චි කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග තුළ තිබෙන බල සැපයුම් කොටසේ  ට්‍රාන්ස්ෆෝමරයක් අන්තර්ගත වනවා.

විදුලිය බෙදාහැරීමේදී භාවිතාවන ට්‍රාන්ස්ෆෝමරයක්
 ඉතා සරලවම කියතහොත් ට්‍රාන්ස්ෆෝමරයක් නිර්මාණය වී ඇත්තේ සන්නායක කම්බි වට ප්‍රමාණයන් ආධාරයෙන් සකසා ඇති ප්‍රාථමික සහ ද්විතියික වශයෙන් හැදින්වෙන කොයිල් ස්ථරයන් දෙකක් හෝ කිහිපයක් මගින්. ප්‍රාථමිකය වශයෙන් හැදින්වෙන කොයිල් ස්ථරයට 230V ප්‍රධාන විදුලිය සැපයෙන් අතර ද්විතියික කොටසෙන් අවශ්‍ය අගයක් දක්වා පහත දැමුණු විදුලි අගයක් ලබා ගත හැකි වන ට්‍රාන්ස්ෆෝමරන් භාවිතාවේදී Step Down Transformers ලෙස හැදින්වෙනවා. එලෙසින්ම ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතාවෙන් විදුලි අගය ඉහළ දැමීමද සිදුකරගත හැකි අතර එවැනි ට්‍රාන්ස්ෆෝමරන් Step Up Transformers ලෙස හැදින්වෙනවා.

උපාංග අභ්‍යන්තරයේ දැකිය හැකි ට්‍රාන්ස්ෆෝමරයක්
 විදුලිය ජනනය කරන බලාගාරයක සිට නිවෙස් දක්වා විදුලිය බෙදාහරින ක්‍රියාවලිය අතරතුර අවශ්‍ය පරිදි වොල්ටීයතාවය ඉහළ සහ පහළ දැමීම සදහා ට්‍රාන්ස්ෆෝමර් සුලබව භාවිතා වනවා. උදාහරණයක් ලෙස වෝල්ට් 33,000 මෙන්ම 166,000 වැනි ඉහළ අගයක විදුලිය ගෙනයන රැහැන් මෙන්ම නිවෙස් වෙත බෙදා හරින වෝල්ට් 230 අගයක් සහිත රැහැන්ද සම්බන්ධ වනුයේ ඉහතින් මා විස්තර කරන ලද දෙයාකාරයෙන් එක් ආකාරයක ට්‍රාන්ස්ෆෝමරයකටයි.

1.බලාගාරයක සිට නිවාස දක්වා විදුලිය සැපයීමේදී ට්‍රාන්ස්ෆෝමරයන්හි දායකත්වය.
ට්‍රාන්ස්ෆෝමරයක් නිර්මාණය කරන අන්දම මෙන්ම ට්‍රාන්ස්ෆෝමරන් භාවිතාවෙන් විවිධාකාරයේ බල සැපයුම් නිර්මාණය කරනු ලබන ආකාරය සම්බන්ධයෙනුත් ඉදිරි ලිපි මගින් විමසා බලමු.

මල්ටිමීටරය ආධාරයෙන් ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂාකරන්නේ මෙන්න මෙහෙමයි...


මේ වන විට මෙම බ්ලොග් අඩවිය මගින් රෙසිස්ටරයක්, කැපෑසිටරයක් , ඩයෝඩයක් සහ ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. එමෙන්ම රෙසිස්ටරයක අගය ලබා ගන්නා කේත ක්‍රමය සම්බන්ධව මෙන්ම මල්ටිමීටරයක් භාවිතාවෙන් රෙසිස්ටරයක අගය මැන ගන්නා ආකාරය  සහ ඩයෝඩයක ක්‍රියාකාරීත්වය පරීක්ෂාකර ගන්නා අන්දමද මා ඔබට පැහැදිලි කර අවසන්. එසේනම් මල්ටිමීටරයක් ආධාරයෙන් ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂා කරන ආකාරය අද අප විමසා බලමු. ට්‍රාන්සිස්ටර් ගැන සාකච්චා කළ ලිපියේදී මා ඔබට සදහන් කලා NPN සහ PNP යනුවෙන් ට්‍රාන්සිස්ටර් දෙවර්ගයක් භාවිතාවේ ඇති වග. මල්ටිමීටරය ආධාරයෙන් NPN  වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂා කරන අන්දම අප මුලින්ම විමසා බලමු.

පරීක්ෂාවට ලක් කරන ට්‍රාන්සිස්ටරය පරිපථයකට සම්බන්ධ කර තිබේ නම් එහි කලෙක්ටර් සහ එමීටර් යන අග්‍රයන් අදාල පරිපථයෙන් විසන්ධි කර ගැනීම කළයුතුයි. මෙසේ ට්‍රාන්සිස්ටරයේ අග්‍රයන් පරිපථයෙන් විසන්ධි කළ යුතු වන්නේ පරිපථයට සම්බන්ධ අනිකුත් උපාංග මගින් ඇති කරන ප්‍රතිරෝධක අගයන් හේතුවෙන් ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීමේ කටයුත්තට බාධා පමුණුවන හෙයිනි. NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් සාමන්‍ය තත්වයේ පවතින්නේ නම් එහි බේස් අග්‍රය සහ කලෙන්ටර් අග්‍රය අතරත් බේස් අග්‍රය සහ එමීටර් අග්‍රය අතරත් එක් දිශාවකට අධ්ක ප්‍රතිරෝධයක් ඇති අතර විරුද්ද දිශාවට පවතින්නේ ඉතා අඩු ප්‍රතිරෝධයකි. එනම්  N සහ P අතරත් P සහ N අතරත් ඇත්තේ ඩයෝඩයක් හා සමාන ක්‍රියාකාරීත්වයක් වන අතරම එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාම සිදු වේ. පරීක්ෂා කිරීමේදී පමණක් ට්‍රාන්සිස්ටරයක ව්‍යුහයට ඩයෝඩයන් දෙකක් ඉහත පරිදි සමාන කරගත හැකි නමුත් ක්‍රියාකාරීවීමේදී ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීවය ඩයෝඩයක් දෙකක් එකට සම්බන්ධකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා බොහෝ සෙයින් වෙනස් බවද මතකයේ තබාගන්න.
ඉහත රූප සටහනේ පරිදි මල්ටිමීටරයේ සිලෙක්ටරය ඕම්ස් මාපකයට අදාල අවම සීමාවට ( X1) යොමුකර ගැනීමෙ අනතුරුව  එහි පොදු අග්‍රය හෙවත් කලු පැහැති අග්‍රය ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය වෙතද මල්ටිමීටරයේ රතු අග්‍රය ට්‍රාන්සිස්ටරයේ කලෙක්ටරය වෙතද සම්බන්ධ කරගන්න. එවිට ඔබට ලැබෙන පාඨාංකය අනන්තයක් දක්වා විහිද යන අතරම අනතුරුව බේස් අග්‍රයට සම්බන්ධ මල්ටිමීටරයේ කලු අග්‍රය එලෙසම තබාගෙන රතු අග්‍රය කලෙක්ටරයෙන් ඉවත් කොට ට්‍රාන්සිස්ටරයේ එමීටරය වෙත සම්බන්ධ කර ලැබෙන පාඨාංකයත් කලින් සිදු කල පරීක්ෂණයේ මෙන් අනන්තක් දක්ව විහිද යන්නේ දැයි නිරීක්ෂණය කරන්න.
අනතුරුව ඔබ කළ යුත්තේ මල්ටිමීටරයේ රතු අග්‍රය ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය වෙත සම්බන්ධ කර මල්ටිමීටරයේ කලු අග්‍රය ට්‍රාන්සිස්ටරයේ කලෙක්ටරය සහ එමීටරය වෙත දෙවතාවකදී වෙන් වෙන්ව සමන්ධ කර ගැනීමයි. මෙම අවස්ථා දෙකේදීම ඔබහට ලැබෙන පාඨාංකය ඉතා අඩු ඕම්ස් අගයක් වියයුතු අතර සමහර විට එය ඕම්ස් බිංදුවක් ලෙසද නිරීක්ෂණය විය හැකියි.
අවසාන වශයෙන් ඔබ කල යුත්තේ ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය මුදා හැර කලෙක්ටර් සහ එමීටර්  අගයන් පමණක් ඉහත රූප සටහනේ පරිදි මල්ටිමීටරයේ රතු සහ කලු අග්‍රයන් සම්බන්ධ කර ගැනීමයි. අවස්ථා දෙකෙදීම ඉහළ ඕම්ස් අගයක් ලැබිය යුතු අතර ලැබෙන අගයන් අවස්ථා දෙකේදීම එක සමාන වියයුතුය.මෙලෙස ඉහත රූප සටහන් වල දක්වා ඇති පරිදි මල්ටිමීටරය හා ට්‍රාන්සිස්ටරයේ අග්‍ර සම්බන්ධ කිරීමේදී A සහ B යන අවස්ථාවන්හීදී අනන්තයක් දක්වා දිවෙන ඕම්ස් අගයක්ද, C සහ D යන අවස්ථා වලදී ඉතා අඩු හෝ ශුන්‍ය වන ඕම්ස් අගයක්ද, E සහ F යන අවස්ථාවන්හීදී ඉතා වැඩි ඕම්ස් අගයක්ද ලැබුනේ නම් අදාල ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නිසි තත්වයේ තිබෙන බවට නිගමනය කරගත හැකිය. එනමුත් ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවන්හීදී තාපය නිසා හෝ වෙනයම් හේතුන් නිසා ඇතිවන දෝෂ තත්වයන් මෙවැනි පරීක්ෂණයක් මගින් නිරීක්ෂණය කළ නොහැක.

PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද ඉහත ක්‍රියාවලිය මගින්ම පරීක්ෂාවට ලක්කළ හැකි නමුත් ලැබෙන පාඨාංක AB සහ CD යන අවස්ථාවන්හීදී ප්‍රති විරුද්ද ලෙස ගණනය කළ යුතුය. එනම් ට්‍රාන්සිස්ටරයක් හොද තත්වයේ ඇත්නම් AB අවස්ථාවන්හීදී අවම අගයක ඕම්ස් ප්‍රමාණයක්ද, CD යන අව්ස්ථාවන්හීදී අනන්තයක් දක්වා දිවෙන ඕම්ස් ප්‍රමාණයක්ද ලැබෙනු ඇත. NPN සහ PNP දෙවර්ගයේම ට්‍රාන්සිස්ටරයන් ඉහත පරිදි ඉතා සරල ක්‍රියාමාර්ගයන් මගින් පරීක්ෂා කරගත හැකිය.

මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කරමු....


පරිපථයක ධාරාවේ ගමන් මග පාලනය කරන ඩයෝඩය සම්බන්දයෙන් මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළ අතරම ඩයෝඩයන් කිහිපයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරාවක්  (AC) සරල ධාරාවක් (DC) බවට පරිවර්ථනය කරන ආකාරය සම්බන්ධයෙනුත් මීට ඉහතදී අප සාකච්චා කළා. මල්ටිමීටරයක් ආධාරයෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේදැයි යන්න නිරීක්ෂණ කරන ආකාරය පිළිබදව අද අප විමසා බලමු.
ඉහත රූප සටහනේ A කොටසේ පරිදි මල්ටිමීටරයේ රතු අග්‍රය (+) ඩයෝඩයේ ඇනෝඩයටත් මල්ටිමීටරයේ කලු පැහැති පොදු අග්‍රය (-) ඩයෝඩයේ කැතෝඩයටත් සම්බන්ධ කර බලන්න. මෙහිදී මල්ට්මීටරයේ සිලෙක්ටරය ඕම්ස්මීටරයට අදාල අවම අගයට (x1) යොමු කරගැනීමද කළ යුතුය. මෙසේ සම්බන්ධ කිරීමේදී ඩයෝඩය පසු නැඹුරු වන අතර ඩයෝඩය නිසි ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඩයෝඩය හරහා ධාරාවක් නොගැලිය යුතුය. එනම් මල්ටිමීටරයෙන් ඔබට ලැබිය යුත්තේ අනන්තය දක්වා දිවෙන ඕම්ස් අගයකි.

එසේම ඉහත රූප සටහනේ B කොටසේ දැක්වෙන පරිදි ඩයෝඩයේ ඇනෝඩය වෙත මල්ටිමීටරයේ කලු අග්‍රයත් ඩයෝඩයේ කැතෝඩය වෙත මල්ටිමීටරයේ රතු අග්‍රයත් සම්බන්ධ කොට පාඨාංක ලබාගන්න. මෙහිදී ඔබට ඉතා අවම ප්‍රමාණයේ හෝ ශුන්‍ය මට්ටමේ ඕම්ස් අගයක් ලැබෙනුයේ මෙම අවස්ථාවේදී ඩයෝඩය පෙර නැඹුරු වී ඩයෝඩය හරහා ධාරාවක් ගලා යන බැවිනි.

ඉහත ආකාරයට ඉතා පහසුවෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේ දයි යන්න නිර්ණය කරගත හැකි අතරම මීට පෙර ලිපියක් මගින් අප සාකච්චා කළ ආලෝක විමෝචන ඩයෝඩයද  (L.E.D.)  මෙයාකාරයෙන්ම පරීක්ෂාකරගත හැකිය. එහිදී පෙර නැඹුරු අවස්ථාවේදී සාමාන්‍ය වර්ගයේ එල්.ඊ.ඩී යකින් නම් ආලෝකයක් නිකුත් වීමද සිදුවේ. මීළග ලිපිය මගින් මල්ටිමීටරයක් ආධාරයෙන් ට්‍රාන්සිස්ටරක් පරීක්ෂා කරනු ලබන ආකාරය සාකච්චාවට භාජනය කරමු.

විදුලි බිලට තිත තියන්න ඕනි නම් එල්.ඊ.ඩී වලින් නිවස ආලෝකමත් කරගන්න....


පිළිස්සුන සී.එෆ්.එල් බල්බ් නැවත පාවිච්චියට ගන්න හැටි මීට කලින් ලිපියක් මගින් ඉදිරිපත් කල බව ඔබට මතක ඇති.. ඒත් එහෙම කලත් වොට් 18ක් හරි 38ක් හරි වැයවෙනවනේ. තව දුරටත් විදුලිබිල අඩු කර ගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්න යන්නේ. මේ සර්කිට් එක නිර්මාණය කරලා අයින් කරපු සී.එෆ්.එල්. බල්බ් එකක උඩ වැස්මට සවි කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි මේ වගේ එල්.ඊ.ඩී යොදාගෙන වාණිජමය වශයෙන් නිර්මාණය කරපු විදුලි බුබුළු දැනටමත් පළවන හරස් වීදියෙන් ම්ළදී ගන්නත් පුළුවන්. මිළ නම් රු. 350/- පමණ වෙනවා. සමහර මීට වඩා අඩු මිළ ගණන් වලටත් මේ වන විට වෙළදපලෙන් සොයා ගන්නට හැකියාව තිබෙන නමුත් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රු. 100/= පමණ වැය කරලා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වන පරිපථයක් තමයි පහත රූප සටහනෙන් ඉදිරිපත් කරන්නේ.

මේ පරිපථය නිර්මාණය කරන්න යොදාගෙන තිබෙන සියලුම උපාංග සම්බන්ධයෙන් මීට පෙර ඵල කරපු ලිපි මගින් සාකච්චා කර ඇති බැවින් ආධුනිකයෙකුට වුවද මෙම පරිපථය එකළස් කර ගැනීමේදී ගැටළුවක් පැනනොනගිනු ඇතැයි මා විශ්වාශ කරන අතරම මෙම පරිපථය 230V ප්‍රධාන විදුලියට සම්බන්ධ වන නිසා ඔබේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතු බවද අවධාරණය කර සිටිමි.මෙහි R2 ස්ථානයේ යොදා ඇති ඕම්ස් 56 වොට් 2ක රෙසිස්ටරය මගින් පරිපථයට සම්බන්ධ එල්.ඊ.ඩී වලට ලැබෙන ධාරාව පාලනය කරන අතරම BR1 ලෙස නම්කොට ඇති Bridge Rectifier ය මගින් ප්‍රත්‍යාවර්ථ ධාරාව සරල ධාරාවක් බවට පෙරළනු ලබනවා. මේ සදහා IN4007 ඩයෝඩ 04ක් (IN4004 ත් ගැලපෙනවා) යොදා ගතහැකිය. එලෙසම c2 කැපෑසිටරය මගින් සරල ධාරාව සුමට කිරීම සිදු කරන ලබන අතරම සදහා ඒ සදහා මයික්‍රෝ ෆැරඩ් 680 ක 60V (1000uF 60v වුවද ගැලපේ.) පමණවන කන්ඩෙන්සරයක් යොදාගතයුතු වනවා.  සුදු පැහැයෙන් යුත් දීප්ත එල්.ඊ.ඩී මෙම පරිපථය සදහා යොදා ගත යුතුය. (2.8V Bright ). C1 සදහා මයික්‍රොෆැරඩ් 1ක 400V පොලිමර් ( 105) කැපෑසිටරයක් යොදා ගන්න.මෙහි දීප්තිය සාමාන්‍ය කාමරයක් එළිය කිරීම සදහා ප්‍රමාණවත් වන අතරම දීප්තිය වැඩි කර ගැනීමට එල්.ඊ.ඩී ගණන තව දුරටත් වැඩි කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී විමසා බලමු.

කරන්ට් එක වද්දාගන්නේ නැතිව ඇම්පියර් ගණන පරීක්ෂා කරගන්න...


ඇත්තටම කරන්ට් එක වැදෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් ගෘහස්ථ විදුලිය බෙදාහරින වයරක් වැරදීමකින් ශරීරය හා ස්පර්ෂ වූ අවස්ථාවක් ඔබේ සිහියට නැගේවි. ගෘහස්ථ විදුලියේ අඩංගු වෙන්නේ ඇම්පියර් 15ක් හෝ ඇම්පියර් 5ක් සහ වෝල්ට් 230ක්. කරන්ට් එක හෙවත් ධාරාව මනින ඒකක වන්නේ ඇම්පියර් නේ. එහෙනම් මේ කරන්ට් එක වැදෙනවා කියලා කියන්නේ ඇම්පියර් 5ක් හෝ 15ක් ශරීරය හා ස්පර්ෂ වීමද? මේ ගැන ඉදිරියේදී සවිස්තරාත්මකව සාකච්චා කරන බවට පොරොන්දු වෙමින්ම අද මම සාකච්චාවට භාජනය කරන්නේ ඇම්පියර් ප්‍රමාණය මැනගැනීමට භාවිතා කරන ඇමීටරය භාවිතා කරන ආකාරය සම්බන්ධවයි. මල්ටිමීටරයක් ආධාරයෙන් ඕම්ස් අගයක් සහ වෝල්ට් අගයක් මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන්  පසුගිය ලිපි මගින් සාකච්චා කළ බව ඔබට මතක ඇති.බහුකාර්යය මෙවලමක් වන මල්ටිමීටරයේ සිලෙක්ටරය සහ දර්ශක කොටස භාවිතා කරන ආකාරය සම්බන්ධයෙනුත් යම් වැටහීමක් මෙම ලිපි පෙළ කියවූ ආධුනිකයකු සතුව ඇතැයි මා විශ්වාශ කරනවා.
 ධාරාවේ අගය ලබාගැනීමේදී ඇනලොග් සහ ඩිගිටල් මල්ටිමීටරයන් භාවිතාකළ හැකි වන්නේ යම් යම් සීමාවන් සහිතවයි. බොහෝවිට සාමන්‍යයෙන් භාවිතාවන ඇනලොග් මල්ටිමීටරයකින් මැනගත හැකිවනුයේ ඩී.සී. මිලිඇම්පියර් 250ක් දක්වා පමණි. එනමුත් ඩී.සී. ඇම්පියර් 10ක් වනතෙක් භාවිතා කළ හැකි ඇනලොග් මල්ටිමීටරයන්ද දක්නට ලැබෙනවා. ඒ.සී. ධාරවක් මැනගැනීමට හැකි ඇනලොග් මල්ටිමීටරයන් බහුලව දක්නට නොලැබෙන නමුත් ඩිගිටල් මල්ටිමීටරයක් භාවිතාවෙන් ඒ.සී. සහ ඩී.සී ධාරාවන් මැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඉහත  සහ පහතින් ඇති රූපසටහන් දෙකෙහිම කොළ පැහැති කවයන් මගින් සළකුණු කර තිබෙන්න ඇම්පියර් අගයක් මැන ගැනීමේදී සිලෙක්ටරය යොමු කළ හැකි පරාසයන් වන අතර මෙහි ඉහළ රූපය මගින් දැක්වෙන ඩිගිටල් මල්ටිමීටරය මගින් ඩී.සී. ඇම්පියර් 10ක් දක්වාද පහතින් දක්වා ඇති ඇනලොග් මල්ටිමීටරය මගින් ඩී.සී. මිලි ඇම්පියර් 250ක් දක්වාද මැන ගැනීමටද හැකියාව ඇත. සිලෙක්ටරය 10 (Ampere/DC) ස්ථානයට යොමු කොට ඇම්පියර් 10ක් දක්වා මැන ගැනීමේදී මල්ටිමීටරයේ අග්‍රය ඒ සදහාම විශේෂයෙන් පිහිටුවා ඇති 10A යනුවෙන් සදහන් සොකටයට සවි කිරීමද කළ යුතුවේ. ඇනලොග් හෝ ඩිගිටල් යන කුමන වර්ගයේ මල්ටිමීටරයකින් වුවද යම් පරිපථයක් ලබාගන්නා ධාරාවේ අගය මැන ගැනීමට ලක්කිරීමේදී අදාල පරිපථයට විදුලිය සැපයෙන මාර්ගය විවෘත (Open Circuit) කළයුතු නමුත් මෙම කටයුත්ත සදහාම විෂේශයේන් නිපදවා ඇති Clamp Meter යන උපකරණය භාවිතා කිරීමේදී එසේ පරිපථයට විදුලිය සපයන මාර්ගය විවෘත (Open Circuit) කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඉදිරියේදී අදාල උපකරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන අතර මිලිඇම්පියර් 250 ක දක්වා සරල ධාරාවක් (DC) පරීක්ෂා කළ හැකි ඇනලොග් මල්ටිමීටරයක් භාවිතයෙන් පරිපථයක් ලබා ගන්නා ඇම්පියර් ප්‍රමාණය මැන ගන්නා ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.
 මෙහිදීද මල්ටිමීටරයේ රතු පැහැති අග්‍රය මල්ටිමීටරයේ + යනුවෙන් සදහන් කර ඇති රතුපැහැයෙන් වර්ණ ගන්වා ඇති සොකටයටත් කලු පැහැති අග්‍රය - යනුවෙන් සදහන් සොකටයටත් සම්බන්ධ කළ යුතුවේ. අනතුරුව පරීක්ෂාවට භාජනය වන සජීවී පරිපථයට ධන විදුලිය සපයන අග්‍රය විවෘත කොට විදුලි සැපයුම් අන්තයේ වයරය මල්ටිමීටරයේ රතු අග්‍රයටත් පරිපථයට විදුලිය සැපයෙන් අන්තයේ වයරය මල්ටිමීටරයේ කලු පැහැති අග්‍රයටත් සම්බන්ධ කිරීම කළ යුතුය. මෙහිදී මා යොදා ගන්නේ මා මීට පෙර ලිපියක් මගින් සාකච්චා කළ එල්.ඊ.ඩී යුගලයක් සහිත පරිපථයයි.
 ඉහත රූපසටහන මගින් වෝල්ට්මීටරයේ ඇමීටරය පරිපථය හා වියළිකෝෂ 02කින් සමන්විත බලසැපයුම අතරට යොමු කර ඇති ආකාරය පෙන්නුම් කරන අතර පහත රූපසටහන මගින් නිරූපණය කෙරෙන්නේද ඉහත පරිපථය මගින් පෙන්නුම් කෙරෙන උපාංග සන්ධි වන ආකාරයේ සජීවී රූපරාමුවකි.
වෝල්ට් අගයන්ට අදාලව පාඨාංක ලබාගන්නා දර්ශක තීරුව භාවිතා කිරීම මගින් ඇම්පියර් අගයන්ට අදාල පාඨාංක ලබා ගැනීමද කළ හැකි අතර මෙහිදීද සිලෙක්ටරය යොමුකර ඇති ස්ථානයට සාපෙක්ෂව අදාල අගයන් නිර්ණය කරගත යුතුවේ. මෙහිදී සිලෙක්ටරය යොමුකර තිබෙන්නේ මිලි ඇම්පියර් 250ට අදාල ස්ථානයට බැවින් පාඨාංක කියවනයේ ඇති 0 සිට 250 දක්වා අගයන්ට අදාල පාඨාංක තීරුවේ අගයන් එලෙසම භාවිතා කළහැකිය. එසෙම ඔබ සිලෙක්ටරය මි.ඇ.25 සහ මි.ඇ.2.5 යන ස්ථානයන්ට යොමුකලේ නම් පාඨාංක කියවනේ 0 සිට 250 දක්වා අගයන් ඇති තීරුවෙ පාඨාංක දර්ශකය (Needle) දක්වන අගයන් 10න් සහ 100න් බෙදීම මගින් නිර්ණය කරගත හැකිය.මෙහිදී අදාල පරිපථය ක්‍රියාත්මක වීමේදී මිලිඇම්පියර් 25කට ආසන්න ප්‍රමාණයක ධාරාවක් ලබාගන්නා බව ඉහත රූපසටහන් මගින් හදුනාගත හැකිය. 
මල්ටිමීටරයක් භාවිතාවෙන් ඩයෝඩ, කැපෑසිටර් සහ ට්‍රාන්සිස්ටර් වැනි ඉලෙක්ටොනික් උපාංග පරීක්ෂාකරන අයුරු ඉදිරියේදී විමසා බලමු.මේ වන විට මෙම බ්ලොග් අඩවිය මගින් ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්‍රයට සම්බන්ධව ලිපි 35කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර ඇති අතරම ඉන් සමහර ලිපි වෙනත් වෙබ් අඩවි ඔස්සේද ප්‍රකාශයට පත්ව ඇති බවද පෙනී ගිය කරුණකි. ඒ සම්බන්ධයෙන් මාගේ කිසිදු විරෝධයක් නොමැති නමුත් පැය කිහිපයක් වෙහෙස මහන්සි වී එලිදක්වන ලිපියක් වෙනත් අඩවියක පළ කිරීමේදී අවම වශයෙන් අදාල බ්ලොග් අඩවියේ නම හෝ සදහන්කිරීමට කාරුණික වන මෙන්ද ඉල්ලා සිටිමි. එලෙසම මෙම ලිපි වල යම් කිසි නිවැරදිවිය යුතු කරුණක් ඇතොත් කමෙන්ට් මගින් පෙන්වා දීම මෙය පරිශීලනය කරන්නන්ට මහත් රුකුලක් වන බැව්ද අවධාරණය කරමි. කමෙන්ට් මගින් සහ ඊ.මේල් මගින් මෙම අඩවිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන  සියල්ලන්ටම මාගේ කෘතවේදී ස්තුතිය නිරන්තරයෙන්ම පුදකර සිටිමි.

මල්ටිමීටරයේ වෝල්ට් මීටරය භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි...


පරිපථයකට විදුලිය ලබා දී  එක් එක් ස්ථාන හරහා ගමන් කරන විදුලිය ප්‍රමාණය නිශ්චය කර ගැනීම, පරිපථයක දෝෂ සෙවීමේදී අත්‍යවශයම අංගයක්. අදාල පරිපථයට විදුලිය ලබා දෙන්නේ වියළි කෝෂ හරහා නම් මේ කටයුත්ත ඒ තරම් බෑරෑරුම් දෙයක් නොවුනත් 230V වගේ ලබාදෙන පරිපථයක නම් මෙම කටයුත්ත තරමක් අවදානම්. කිනම් අවස්ථාවකදී වුවද පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ගයන් කීපයක් සම්බන්ධව පසුගිය ලිපියෙන් සාකච්චා කළ බව ඔබට මතක ඇති.අද අපි විමසා බලමු වෝල්ට් මීටරය භාවිතාවෙන් ඒ.සී හෝ ඩී.සී. විදුලිය අගයක් මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන්. මේ වන විට ඔබ මල්ටිමීටරයේ ඕම්ස් මීටරය භාවිතාවෙන් රෙසිස්ටරයක ඕම්ස් ප්‍රමාණය මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන් දැනුවත්ව ඇතැයි මා විශ්වාස කරනවා. එසේ නොමැති නම් පසුගිය ලිපියක් මගින් මා සාකච්චා කළ කරුණු සම්බන්ධයෙන් නැවතත් අවධානය යොමුකරන්න. එහිදී මා ඔබට පැවසුවා මල්ටිමීටරයේ සිලෙක්ටරය අදාල මානක ස්ථානයට යොමු කර ගැනීම මගින් ඉතා අඩු ඕම්ස් අගයක් මෙන්ම ඉතා ඉහළ ඕම්ස් අගයක්ද පහසුවෙන් එමෙන්ම නිවැරදිව මැන ගැනීමට හැකි ආකාරය සම්බන්ධයෙන්. වෝල්ට්මීටරය භාවිතා කිරීමේදීද සිලෙක්ටරය අවශ්‍ය වන වෝල්ට් අගයට යොමු කර ගැනීම මගින් මිලි වෝල්ට් ප්‍රමාණයක සිට වෝල්ට් 1000ක් පමණ වන තුරු වෝල්ට් අගයන් ඉතා නිවැරදිව මැන ගැනීමට හැකියාව ලැබෙනවා.


මෙහිදී ඒ.සී. සහ ඩී.සී විදුලිය මැන ගැනීම වෙනුවෙන් වෙන වෙනම මානක පරාසයන් දෙකක් පවතිනවා. දකුණු පස දක්වා ඇති රූප සටගනේ DCV යනුවෙන් සදහන් කර ඇති මාපක ස්ථාන මගින්  0.1-1000V දක්වා ඩී.සී වෝල්ටීයතාවක්ද, ACV යනුවෙන් සදහන් කර ඇති කොටසින් 1-1000V දක්වා ඒ.සී වෝල්ටීයතාවක්ද මැන ගැනීමේ හැකියාව පවතිනවා. වෝල්ට් මීටරය භාවිතා කිරීමට ප්‍රථමයෙන් මැන ගැනීමට ලක්වන පරිපථය තුළින් ගමන් කරන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවක්ද, (AC) සරළ ධාරාවක්ද (DC) යන්න  පරිශීලකයා දැනුවත්ව සිටීම ඉතා වැදගත්. එලෙසම අදාල පරිපථය තුල තිබිය හැකි ඉහළම වෝල්ට් ප්‍රමාණයද දළ වශයෙන් හෝ දැන සිටීමත් වැදගත්. මෙම අගය නොදන්නා අවස්ථාවකදී අනුගමනය කළ හැකි සරලම ක්‍රියාමාර්ගය නම් වෝල්ට්මීටරයෙන් පාඨාංක ලබා ගත හැකි ඉහළම කාන්ඩය වෙත (1000V) සිලෙක්ටරය යොමු කර පාඨාංක ලබා ගැනීමයි. මෙහිදී ලැබෙන වෝල්ට් අගය මත අදාල සුදුසු කාණ්ඩයක් වෙත සිලෙක්ටරය යොමුකරගැනීම පසුව කළහැකියි.වෝල්ට් 1 සිට 10 දක්වාත්, වෝල්ට් 1 සිට 50 දක්වාත් වෝල්ට් 1 සිට 250 දක්වාත් කාණ්ඩ 03ක් මා ඔබට නිදර්ශකයක් ලෙස දක්වා ඇති ඇනලොග් මල්ටිමීටරයකට අදාල රූපයේ කොළ පැහැයෙන් දක්වා ඇති පාඨාංක දර්ශකය  (Display Screen) තුල දක්නට ලැබෙනවා. සිලෙක්ටරය 10, 50, 250 යන ස්ථානයන්ට යොමු කර ඇති විටක ඔබට පහසුවෙන් ඉහත කාණ්ඩවලට අදාලව වෝල්ටීයතා අගයන් අදාල පාඨාංක දර්ශක තීරුව භාවිතාවෙන් මැන ගැනීමට හැකිවනවා. එලෙසම ඔබට 250V වැඩි වෝල්ට් ප්‍රමාණයක් මැන ගැනීමට අවශ්‍ය වූ විටක සිලෙක්ටරය 1000V වෙත යොමුකර, පාඨාංක දර්ශකයේ 0-10 දර්ශක තීරුව මගින් ලැබෙන පාඨාංකය 100න් ගුණනය කිරීමෙන්ද. 0-50 තීරුව මගින් ලැබෙන පාඨාංකය 20න් ගුණනය කිරීම මගින්ද 0-250 තීරුව මගින් ලැබෙන පාඨාංකය 4න් ගුණනය කිරීම මගින්ද පාඨාංක අගය අවශ්‍ය ප්‍රමාණයට සීරු මාරු කර ලබා ගත හැකියි. 2.5V, 0.5V හා 0.1V යන මිනුම් ස්ථාන වලට සිලෙක්ටරය යොමු කර ඇති අවස්ථාවකදීද මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කළ හැකියි. නමුත් බොහෝවිට මල්ටිමීටරක් භාවිතා කිරීමේදී නම් මෙලෙස එක් එක් මාපක ස්ථානයන්ට (1-10, 1-50, 1-250, 1-1000) සිලෙක්ටරය වෙන් වෙන්ව යොමු කිරීමක් අව්ශ්‍ය නොවන නමුත් ඒ.සී හා ඩී.සී විදුලි පරාසයන්ට පමණක් වෙන් වෙන්ව සිලෙක්ටරය යොමුකිරීම ප්‍රමාණවත් වනවා.


එලෙසම පරීක්ෂාවට ලක් කරන්නේ සරල ධාරාවක් ගමන් කරන පරිපථයක් නම් මල්ටිමීටරයේ අග්‍ර නිවැරදිව පරිපථය හා සම්බන්ධ කිරීමත් ඉතා වැදගත්. අග්‍ර වැරදි ලෙස සම්බන්ධ කිරීම මගින් ඇනලොග් මීටරයක නම් බොහෝ විට පාඨාංක දර්ශකයට හානි වීමේ හැකියාවක් තිබෙනවා. එනිසා මල්ටිමීටරයේ පොදු අග්‍රය හෙවත් කළු පැහැති අග්‍රය - විදුලි‍යටත් රතු වර්ණයෙන් යුත් අග්‍රය + විදුලියටත් සම්බන්ධ කිරීමටත් මතකයේ තබා ගන්න. එලෙසම පාඨාංක ලබා ගැනීමේදී කිසි විටෙකත් මල්ටිමීටරයට සම්බන්ධ අග්‍රයන්ගේ අවසාන කෙළවරේ ඇති සන්නායකය හා ඔබේ ශරීරය ස්පර්ශ නොවිය යුතුය යන ස්වර්ණමය රීතිය සම්බන්ධයෙන්ද  මා ඔබගේ අවධානය නැවතත් යොමු කරවනවා.මල්ටිමීටරයේ ඇති ඇම්පියර් මාපකය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් මීළග ලිපියෙන් අපි විමසා බලමු.

පරිපථයක වෝල්ටීයතා අගයන් මැන ගැනීමේදී පිලිපැදිය යුතු ආරක්ෂිත විධි විධාන..


ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේදී ඉතාමත් වැදගත් වන දෙයක් තමයි පරිපථයකට ලබාදෙන වගේම පරිපථය තුළ ගමන් කරන විදුලිය ප්‍රමාණය එහෙමත් නැත්නම් වෝල්ටීයතාවය නිශ්චය කර ගැනීම.ඉතින් මෙන්න මේ වෝල්ට් ප්‍රමාණය නිශ්චය කරගැනීමට අපට වෝල්ට් මීටරය භාවිතා කරන්න පුලුවන්. මේ සම්බන්ධව සාකච්චා කිරීමට ප්‍රථමයෙන් විදුලිය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් හැදින්වීමක් කිරීම යෝග්‍ය වේ යැයි මා විශ්වාස කරනවා. නිවාස, කාර්යාල වැනි ස්ථාන වල පාවිච්චි කරන ප්‍රධාන විදුලිය හෙවත් 230V සැපයුමක් මගින් මනුෂ්‍ය ශරීරයට මාරාන්තික හානි ගෙන දෙන බව අප කවුරුත් දන්නා කරුණක් හෙයින් ප්‍රධාන විදුලියට සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ආරෂිත උපක්‍රම අනුගමනය කිරීමට පුරුදු වී තිබෙනවා.

Fluback Transformer ය කොළ පැහැයෙන් සළකුනු කොට ඇත.

රූපවාහිණි, මොනිටර් වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණ අභ්‍යන්තරයේ ඉතා ඉහළ වෝල්ටීයතාවයන් අදාල පරිපථය මගින්ම උත්පාදනය වන අවස්ථා දැකිය හැකියි. 12V විදුලියෙන් ක්‍රියා කරණ කලු-සුදු රූපවාහිණි යන්ත්‍රයක් අභ්‍යන්තරයේ ඇති Flyback ට්‍රාන්ස්ෆෝමරය මගින්  රූපවාහිණ ටියුබයට ලබාදෙන විදුලිය ප්‍රමාණය 12,000V හෝ ඊටත් වඩා වැඩි අගයක් වනවා. ඉතා අඩු ධාරා අගයක් සහ ඉතා ඉහළ වෝල්ට් ප්‍රමාණයකින් සමන්විත විවත් මෙම විදුලි ප්‍රමාණය ශරීරයට ඇතුල් වුවහොත් මරණය පවා සිදුවිය හැකියි.  එලෙසම මෙවැනි ස්ථානයක් වෝල්ට් මීටරයක් මගින් පරීක්ෂාවත ලක්කලහොත් අදාල උපකරණය විනාශ වීමද සිදු වනවා නොඅනුමානයි. නමුත් පරිපථ නිර්මාණය කිරීමේදී අදාල ප්‍රමිති තත්වයන් යටත්ව මෙවැනි ස්ථානයන් නිරාවරණය කර තබන්නේ නොමැති වුවත් එවැනි සංකීර්ණ පරිපථයන් විදුලි‍යට සම්බන්ධ කර පරීක්ෂා කිරීමේදී, අදාල Circuit Diagram එක අනුව පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය.එසේම රූපවාහිණි, ඩී.වී.ඩී මෙන්ම බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපකරණයන්හි වෝල්ටීයතා අගයන් දැක්වෙන පරිපථ සටහනක්ද ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙවැනි Circult Diagram සටහනක් පරිශීලනය කිරීම මගින් එක් එක් ස්ථානයන්ට අදාව පවතින විදුලි ප්‍රමාණයන් නිශ්චය කරගත හැකියි. ඉන් අනතුරුවයි ඔබ ප්‍රායොගිකව පරිපථය පරීක්ෂා කරමින් අදාල විදුලි ප්‍රමාණයන් ඒ ඒ ස්ථානයන්හි පවතිනවාද යන්න සොයා බැලිය යුත්තේ.
කැපෑසිටරයක අග්‍ර සන්නායකයක් මගින් සම්බන්ධ කලහොත්
එලෙසම ප්‍රධාන විදුලියන් ක්‍රියාකරන උපකරණයක් අක්‍රිය වී ඇති විටෙක එහි ඇති කැපෑසිටර්ස් ආරෝපනය වී තිබිය හැකි බවත් මතකයේ තබා ගන්න. කලින් ආරොපණය වූ විදුලිය මෙවැනි උපාංග වල ගබඩා වී තිබිය හැකි බැවින් අදාල කැපෑසිටරයන් Discharge කිරීම , 230V බල්බයක් අදාල කැපෑසිටරයේ අග්‍ර දෙකට සම්බන්ධ කිරීම මගින් කළ හැකියි.එසේම වැඩි වොට් ගණනකින් යුක්ත රෙසිස්ටරයක් කැපෑසිටරයේ අග්‍ර දෙකට සම්බන්ධ කිරීම මගින්ද කැපෑසිටරයක් කරගත හැකිය. සාමන්‍යයෙන් කිලෝඕම්ස් 2.2ක පමණ වොට් 5ත් 10ත් අතර රෙසිස්ටරයක් මේ සදහා යෝග්‍ය වේ.
රෙසිස්ටරයක් මගින් කැපෑසිටරයක් Discharge කිරීම

පරිපථ පුවරුව සන්නායක නොවන කාඩ්බෝඩ් හෝ ෆෝමිකා වැනි ද්‍රවයක් මත තබාගෙන පරීක්ෂාවන් සිදු කිරීමද  ඉතා වැදගත්ය. එලෙසම මාල, බේස්ලට් වැනි දෑ පැළද පරිපථයන් පරීක්ෂාකිරීමට යෑමෙන්ද වළකින්න. ඔබ නොදැනුවත්වම අදාල ආභරණයන් පරිපථ පුවරුව හෝ උපාංග මත ස්පර්ෂ වීම මගින් අනව්ශ්‍ය අනතුරු වලට මුහුණ පෑමටද සිදුවිය හැකිය. එලෙසම ඔබ විඩාවට පත්ව සිටින හෝ නිදිමත වැනි ශාරීරික අවශ්‍යතාවයන් ඇති විටෙක පරිපථ පරීක්ෂා කිරීමට යාමෙන් වළකින්න.මන්ද එවැනි අවස්ථාවකදී අත්වැරදීම් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන හෙයිනි. එලෙසම හැකි සෑම විටෙකම තවත් අයකුද හවුල් කරගෙන විදුලිය ආශ්‍රිත පරීක්ෂාවන්හි නියලෙන්න. ඔබගේ අදහස් කමෙන්ට් එකක් ලෙස යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර වෝල්ට් මීටරය භාවිතාවෙන් පරිපථයක විදුලි අගයන් පරීක්ෂා කරන අන්දම මී ලග ලිපියෙන් විමසා බලමු.

මල්ටිමීටරයක් භාවිතාකර රෙසිස්ටරයක අගය මැන ගන්නා ආකාරය..


මෙම ලිපිය මගින් ඉලක්ක කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආධුනිකයන් වන අතර මෙම ලිපිය කියවන ඔබ ක්ෂෙත්‍රය සම්බන්ධව යම් නිපුණතාවයක් ඇත්තෙකු නම් මෙම ලිපි වලට අන්තර්ගතවිය යුතු හෝ මෙම ලිපිවල නිවැරදි වියයුතු කරුණු ඇතොත් දන්වන මෙන්ද ඉල්ලා සිටිමි.

මල්ටිමීටරයක් සම්බන්ධව මූලික දැනුමක් මේ වන විට ඔබ ලබා අවසන්. නමුත් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් පසුගිය ලිපියේ සදහන් කිරීමට නොහැකි වී තිබුණා. මල්ටිමීටරයක් සීරොයින් කර ගැනීම යනුවෙන් හදුන්වන මෙම සීරුමාරු කිරීමේදී භාවිතා කරන්නේ පහත රූපයේ x යන අක්ෂරය අසල කොළ පැහැති වර්ණයෙන් හදුන්වා ඇති කුඩා Knob එකයි.  මෙහිදී ඔබ කල යුතු වන්නේ මල්ටිමීටරයේ වම් පස බින්දුව වශයෙන් සළකුණු කර ඇති ස්ථානයේ ඇති කුඩා ඉරි කැබැල්ලත්, මල්ටිමීටරයේ පාඨාංක දක්වන කුඩා කටුවත් මල්ටිමීටරයේ පාඨාංක දක්වන ස්ථානයේ ඇතුලතින් පිහිටුවා ඇති කුඩා දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බයත් සමපාත කරගැනීමයි. තවද මෙම කාර්යය සදහා මල්ටිමීටරයේ පරීක්ෂක අග්‍ර අමුණා තිබීම අවශ්‍ය නොවේ.
මල්ටිමීටරය සීරොයින් කරගන්නා Knob එක
මල්ටිමීටරයක ඕම්ස් මීටරය භාවිතාවෙන් පරිපථයක ඇති රෙසිස්ටරයන්හි අගය පරීක්ෂා කරන ආකාරය සම්බන්ධයෙන් අද අපි විමසා බලමු. මා පසුගිය ලිපියෙන් පැවසූ පරිදි මේ සදහා පරීෂාවට භාජනය වන රෙසිස්ටරයේ එක් අග්‍රයක් හෝ පරිපථයෙන් විසන්ධි කළ යුතු වනවා. රෙසිස්ටරයක් පරිපථයක් හා සම්බන්ධව තිබෙන විට පරිපථයේ අනිකුත් උපාංගයන් මගින් හා පරිපථ පුවරුව මගින් ප්‍රතිරෝධකයේ අගය නිශ්චිත ලෙස ලබා ගැනීමට බාධා පමුණුවන වන බැවිනුයි මෙසේ එක් අග්‍රයක් හෝ විසන්ධි කළ යුතු වන්නේ. අනතුරුව ඔබ කලයුත්තේ රෙසිස්ටරයේ වර්ණ කේතයන් මගින් දැක්වෙන අගය දැන ගැනීමයි. මේ සදහා මා කලින් ලිපියකින් සාකච්චා කළ වර්ණක වගුව ආධාර කරගත හැකියි. එසේ වර්ණක වගුව මගින් ලැබෙන අගයත් මල්ටිමීටරයේ ඕම්ස් මීටරය මගින් ලැබෙන අගයත් අතර වෙනස 10% වඩා වෙනස් නම් අදාල රෙසිස්ටරය බලාපොරොත්තු වන තත්වයේ නොමැති බව කිව හැකියි. නමුත් බොහෝ විට ප්‍රයෝගිකව දැක ගත හැකි වන්නේ රෙසිස්ටරයේ අගයක් නොමැති තත්වයට පත්ව තිබීම හෝ රෙසිස්ටරය සන්නායකයක් බවට පත්ව තිබීමයි. බොහෝවිට මෙවැනි දෝෂ සහිත රෙසිස්ටර්  පිලිස්සුනු ගතියකින් (Blown)  යුක්ත වීම වැනි  මතුපිට ස්වභාවයේ ඇති වෙනස්කම් මගින්ද හදුනාගත හැකි වනවා.

පරිපථයක ඇති පිලිස්සුනු ප්‍රතිරෝධකයක්
මල්ටිමීටරයේ ඕම්ස් මීටරයට අදාලව x1 සිට x10 දක්වා සිලෙක්ටරය යොමුකළ හැකි ස්ථාන 05ක් ඇති බව මා පසුගිය ලිපියෙන් පැවසුවා. ඉතා අඩු ප්‍රථිරෝධක අගයකුත් ඉතා වැඩ් ප්‍රථිරෝධක අගයකුත් ඕම්ස් මීටරය මගින් නිවැරදිව ලබා ගැනීම අරමුණු කොට ගෙනයි මෙසේ කොටස් කීපයක් ලෙස ඕම්ස් මීටරය දක්නට ලැබෙන්නේ. එලෙසම මල්ටිමීටරයේ පාඨාංක දක්වා ඇති කොටසේ ඕම්ස් අගයන්ට අදාලව ඔබට දැකිය හැකි වන්නේ 0 සිට 2k දක්වා අගයන් පමණයි. නමුත් මල්ටිමීටරයේ ඕම්ස් මීටරයෙන් ඔබට ඕම්ස් 1ක සිට මෙගා ඕම්ස් 20ක අගයක් දක්වා ඉතා නිවැරදිව මැනගත හැකියි. මෙසේ කළ හැකි වන්නේ ඕම්ස් මීටරය x1 සිට x10 දක්වා වෙන් වෙන්ව සැකසිය හැකි කොටස් 05කින් යුක්තව ඇති නිසාවෙනි. ඔබට ඕම්ස් 56ක අගයකින් යුතු රෙසිස්ටරයක අගය මැන ගැනීමට අව්ශ්‍ය යැයි සිතන්න. සිලෙක්ටරය x1 ස්ථානයට සකසා මල්ටිමීටරයේ අග්‍ර දෙකෙහි සන්නායක කොටස් රෙසිස්ටරයේ දෙකෙළවරට ස්පර්ශ කළ විට මල්ටිමීටරයේ පාඨාංක දක්වනය ( කටුව ) 50ත් 100 අතර 50ට ඉතා ආසන්න ස්ථානයක ස්ථාන ගත වනවා. මෙහිදී ලැබෙන අගය 56 නම් අප එය ගණනය කරන්නේ 56 x 1 (56)ලෙසටයි.
ඕම්ස් 56ක ප්‍රතිරෝධකයක් පාඨාංක දක්වන ආකාරය
 මෙලෙස ඕම්ස් මීටරයේ සිලෙක්ටරය සකසා ඇති ස්ථානයේ ගුණිතයක්  ලෙස ඕම්ස් අගය ලබා ගත යුතු වනවා.නැවතත් අපට කිලෝඕම්ස් 56 ක රෙසිස්ටරයක් පරීක්ෂාකිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න. මෙවර අප සිලෙක්ටරය x1k ස්ථානයට යොමුකලේ නම් මීටරයේ පාඨාංක දක්වනය නැවතත් 50ත් 100ත් අතර 50ට ඉතා ආසන්න ස්ථානයක ස්ථානගත වනවා. මෙහිදී අප අගය ලබා ගතයුතු වන්නේ 56 x 1k (56k)ලෙසටයි.
කිලෝඕම්ස් 56ක ප්‍රතිරෝධකයක් පාඨාංක දක්වන ආකාරය

මෙසේ රෙසිස්ටරයේ අගයට සරිලන ස්ථානයකට මීටරයේ සිලෙක්ටරය යොමු කිරීම මගින් නිවැරදි අගයක් ලබා ගැනීම පහසු වනවා. එලෙසම ඔබට කිලෝඕම්ස් 56 රෙසිස්ටරය x10k ස්ථානයට සිලෙක්ටරය යොමුකර ගැනීම මගින්ද පාඨාංක ලබා ගත හැකියි. මෙවිට පාඨාංක දක්වනය 5-10ත් අතර 5ට ඉතා ආසන්න ස්ථානයක ස්ථාන ගත වන අතර පාඨාංකය ගණනය කරනු ලබන්නේ 5.6 x10k (56k) වශයෙනුයි.
කිලෝඕම්ස් 56ක ප්‍රතිරෝධකයක් පාඨාංක දක්වන ආකාරය-2

මේ වන විට ඔබ මල්ටිමීටරයේ ඕම්ස් මීටරය භාවිතා කරමින් රෙසිස්ටරයක අගයක් ලබා ගැනීම සම්බන්ධව අවබෝධයක් ලබාගෙන ඇතැයි මා විශ්වාස කරනවා. වෝල්ට් මීටරය සහ ඇමීටරය භාවිතා කරන අන්දම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්චා කරමු. එසේම පරිපථයක දෝෂ සහිත කොටසක් හෝ දෝෂ සහිත ඉසව්ව සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ආකාරය ගැනද අනතුරුව සාකච්චා කරමු. මේ දක්වා සාකච්චා කර ඇති කරුණු සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතොත් කරුණාකර කමෙන්ට් එකක් මගින් හෝ slelectroniclab@gmail.com යන ඊමේල් ලිපිණයට යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

මල්ටිමීටරයකින් පාඨාංක ලබා ගන්නේ කෙසේද?


මල්ටිමීටරය භාවිතාවෙන් පාඨාංක ලබා ගන්නා ආකාරය ගැන අද අපි විමසා බලමු. සාමාන්‍ය වර්ගයේ මල්ටිමීටරයක  ඕම්ස් මාපකය, වෝල්ට්මීටරය මෙන්ම ඇමීටරයක්ද අඩංගුව ඇති බව මේ වන විට අප දැනුවත් වී හමාරයි. ඇනලොග් වර්ගයේ මල්ටිමීටරයක දර්ශක කොටස පළමු වරට දකින්නකුට නම් එහි යම් සංකීර්ණ බවක් ඇති බව වැටහී යා හැකියි. මාපක කීපයකම ප්‍රථිපල එකම දර්ශකයක් මගින් ලබා දීමේදී අදාල සියලුම මාපක අගයන් එහි සදහන්ව තිබීම මෙයට හේතු වනවා. එනමුත් මේ සම්බන්ධයෙන් හරියාකාර වැටහීමක් ලබගතහොත් එය ඉතාමත් සරල දර්ශකයක් බව වැටහීයනවා නොඅනුමානයි. මා මුලින්ම විස්තර කරන්නම් මල්ටිමීටරයක තිබෙන ඕම්ස් මීටරය භාව්තයට ගන්නා ආකාරය ගැන.
මල්ටිමීටරයේ දර්ශක තිරය
























ඉහත රූප සටහනේ කොළ පාට වර්ණය මහින් සලකුණු කර තිබෙන්නේ ඕම්ස් මීටරයට අදා පාඨාංක ලබා ගත හැකි දර්ශක තීරයයි. මෙම දර්ශක තීරයේ පොදුවේ ගත් විට 0 සිට 500 දක්වා කඩින් කඩ අගයනුත් 1k සහ 2k යන අගයනුත් දක්නට ලැබෙනවා. එලෙසම අප මල්ටිමීටරයක ඕම්ස් මීටරය මගින් පාඨාංක ලබා ගැනීමේදී මල්ටිමීටරයක දක්නට ලැබෙන Meter Selector එක ඕම්ස් අගයන්ට අදාල කොටසට යොමුකරගතයුතුයි.
ඉහත රූප සටහනේ B යනුවෙන් හදුන්වා ඇත්තේ Meter Selector කොටස වන අතර එය ඕම්ස් අගයන්ට අදාලව අවම අගයන් ලබාගත හැකි කොටස හෙවත් X1 වෙත යොමු කර තිබෙනවා. එලෙසම මෙහි ඔබට දැකගත හැකි X10, X100, X1K සහ X10K යනුවෙන් හැදින්වෙන ස්ථානයන්ද අදාල වනුයේ ඕම්ස් අගයක් මැන ගැනීම වෙනුවෙනුයි. එලෙසම මල්ටිමීටරයක් භාවිතා කිරීමේදී එයට අදාලව තිබෙන පරීක්ෂක අග්‍ර සම්බන්ධ කරන ආකාරයද  ඔබ දැන ගත යුතු වනවා. මෙහි C යනුවෙන් හදුන්වා තිබෙන ස්ථානයට අනිවාර්යෙන්ම සම්බන්ධ ව්ය යුත්තේ කලු වර්ණයෙන් යුත් පරීක්ෂක අග්‍රයයි. එය Common අග්‍රය ලෙසද හැදින්වෙනවා. මෙහි D යනුවෙන් හැදින්වෙන ස්ථානයට රතු වර්ණයෙන් යුත් පරීක්ෂක අග්‍රය සම්බන්ධ කලයුතු වනවා. ඕම්ස් අගයන් ලබා ගැනීමේදී නම් මෙම අග්‍රයන් සවිවන ආකාරය වැදගත් නොවන නමුත් අනුකුත් පාඨාංකයන් ලබා ගැනීමේදී අදාල අග්‍රයන් නිවැරදිව සවි නොකිරීම හේතුවෙන් මල්ට්මීටරය අක්‍රිය විය හැකි බැවින් පුරුද්දක් ලෙස මල්ටිමීටරයට පරීක්ෂක අග්‍රයන් සවිකිරීමේදී අදාල සම්මතයන් අනුගමනය කිරීම වැදගත් වනවා.

ඉහත පරිදි පරීක්ෂක අග්‍රයන් සවි කර ගැනීමෙන් අනතුරුව ඕම්ස් අගයන් පරීක්ෂා කිරීමට පෙර මල්ටිමීටරය සීරු මාරු (Adjust) කරගත යුතුයි. මේ සදහා A යනුවෙන් හදුන්වා ඇති කරකැවිය හැකි කොටස  (Adjustor) භාවිතා කළ හැකියි. මෙහිදී ඔබ පරීක්ෂක අග්‍රයන් දෙකෙහි අග ඇති සන්නායක කොටස් එකනෙක ස්පර්ෂ කලයුතු අතර එවිට දර්ශක තිරයේ පාඨාංක දක්වනය, දර්ශක තිරයේ 0 නැමති ස්ථානය අසලට ලගා වීම සිදුවනවා. මෙසේ කිරීමේදී ඔබේ අතැගිලි අදාල සන්නායක කොටස් මත ස්පර්ෂ නොවිය යුතුයි. මෙම පාඨාංකයන් නිවැරදිව මැන ගැනීමට නම් දර්ශක තිරයේ ඇති දර්පණයේ සහායද ලබා ගතයුතු වනවා. එනම් පාඨාංක දක්වනයත්, දර්පණයෙන් පෙනෙන පාඨාංක දක්වනයේ ප්‍රතිබිම්බයත් දර්ශක තිරයේ 0 අදාලව තිබෙන කුඩා ඉරි කැබැල්ලත් සමපාත විය යුතුයි. එසේ සමපාත නොවන්නේ නම්  ඉහත පරිදි සමපාත වනතුරු සළකුණ මගින් දක්වා ඇති Adjustor එක සීරු මාරු කරගත යුතුයි. මෙසේ සීරු මාරු කර ගැනීමෙන් අනතුරුව රෙසිස්ටරයක ඕම්ස් අගය මැන ගැනීමට නම් එම රෙසිස්ටරයේ එක් අග්‍රයක් හෝ පරිපථයෙන් ඉවත් කල යුතු වනවා. එලෙසම කිනම් අවස්ථාවකදී හෝ පරිපථයට විදුලිය ලබා දී ඇති විටෙක ඕම්ස් මීටරය මගින් අදාල පරිපථයේ ඇති රෙසිස්ටරයක අගය මැන ගැනීම නොකළ යුතුයි. මන්ද එවැනි අවස්ථාවකදී පරීක්ෂක අග්‍ර හරහා ඕම්ස් මීටරයට විදුලිය පැමිනියහොත් මල්ටිමීටරය අකිය තත්වයට පත් වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බැවිනි. පරිපථයක ඇති විවිධ අගයන්ගෙන් යුතු රෙසිස්ටර් කිහිපයක අගය මැන ගන්නා අයුරු මීලග ලිපියෙන් විමසා බලමු.