Social Icons

Sunday, August 4, 2013

මල්ටිමීටරයක් භාවිතාකර රෙසිස්ටරයක අගය මැන ගන්නා ආකාරය..


මෙම ලිපිය මගින් ඉලක්ක කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආධුනිකයන් වන අතර මෙම ලිපිය කියවන ඔබ ක්ෂෙත්‍රය සම්බන්ධව යම් නිපුණතාවයක් ඇත්තෙකු නම් මෙම ලිපි වලට අන්තර්ගතවිය යුතු හෝ මෙම ලිපිවල නිවැරදි වියයුතු කරුණු ඇතොත් දන්වන මෙන්ද ඉල්ලා සිටිමි.

මල්ටිමීටරයක් සම්බන්ධව මූලික දැනුමක් මේ වන විට ඔබ ලබා අවසන්. නමුත් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් පසුගිය ලිපියේ සදහන් කිරීමට නොහැකි වී තිබුණා. මල්ටිමීටරයක් සීරොයින් කර ගැනීම යනුවෙන් හදුන්වන මෙම සීරුමාරු කිරීමේදී භාවිතා කරන්නේ පහත රූපයේ x යන අක්ෂරය අසල කොළ පැහැති වර්ණයෙන් හදුන්වා ඇති කුඩා Knob එකයි.  මෙහිදී ඔබ කල යුතු වන්නේ මල්ටිමීටරයේ වම් පස බින්දුව වශයෙන් සළකුණු කර ඇති ස්ථානයේ ඇති කුඩා ඉරි කැබැල්ලත්, මල්ටිමීටරයේ පාඨාංක දක්වන කුඩා කටුවත් මල්ටිමීටරයේ පාඨාංක දක්වන ස්ථානයේ ඇතුලතින් පිහිටුවා ඇති කුඩා දර්පණයෙන් පෙනෙන ප්‍රතිබිම්බයත් සමපාත කරගැනීමයි. තවද මෙම කාර්යය සදහා මල්ටිමීටරයේ පරීක්ෂක අග්‍ර අමුණා තිබීම අවශ්‍ය නොවේ.
මල්ටිමීටරය සීරොයින් කරගන්නා Knob එක
මල්ටිමීටරයක ඕම්ස් මීටරය භාවිතාවෙන් පරිපථයක ඇති රෙසිස්ටරයන්හි අගය පරීක්ෂා කරන ආකාරය සම්බන්ධයෙන් අද අපි විමසා බලමු. මා පසුගිය ලිපියෙන් පැවසූ පරිදි මේ සදහා පරීෂාවට භාජනය වන රෙසිස්ටරයේ එක් අග්‍රයක් හෝ පරිපථයෙන් විසන්ධි කළ යුතු වනවා. රෙසිස්ටරයක් පරිපථයක් හා සම්බන්ධව තිබෙන විට පරිපථයේ අනිකුත් උපාංගයන් මගින් හා පරිපථ පුවරුව මගින් ප්‍රතිරෝධකයේ අගය නිශ්චිත ලෙස ලබා ගැනීමට බාධා පමුණුවන වන බැවිනුයි මෙසේ එක් අග්‍රයක් හෝ විසන්ධි කළ යුතු වන්නේ. අනතුරුව ඔබ කලයුත්තේ රෙසිස්ටරයේ වර්ණ කේතයන් මගින් දැක්වෙන අගය දැන ගැනීමයි. මේ සදහා මා කලින් ලිපියකින් සාකච්චා කළ වර්ණක වගුව ආධාර කරගත හැකියි. එසේ වර්ණක වගුව මගින් ලැබෙන අගයත් මල්ටිමීටරයේ ඕම්ස් මීටරය මගින් ලැබෙන අගයත් අතර වෙනස 10% වඩා වෙනස් නම් අදාල රෙසිස්ටරය බලාපොරොත්තු වන තත්වයේ නොමැති බව කිව හැකියි. නමුත් බොහෝ විට ප්‍රයෝගිකව දැක ගත හැකි වන්නේ රෙසිස්ටරයේ අගයක් නොමැති තත්වයට පත්ව තිබීම හෝ රෙසිස්ටරය සන්නායකයක් බවට පත්ව තිබීමයි. බොහෝවිට මෙවැනි දෝෂ සහිත රෙසිස්ටර්  පිලිස්සුනු ගතියකින් (Blown)  යුක්ත වීම වැනි  මතුපිට ස්වභාවයේ ඇති වෙනස්කම් මගින්ද හදුනාගත හැකි වනවා.

පරිපථයක ඇති පිලිස්සුනු ප්‍රතිරෝධකයක්
මල්ටිමීටරයේ ඕම්ස් මීටරයට අදාලව x1 සිට x10 දක්වා සිලෙක්ටරය යොමුකළ හැකි ස්ථාන 05ක් ඇති බව මා පසුගිය ලිපියෙන් පැවසුවා. ඉතා අඩු ප්‍රථිරෝධක අගයකුත් ඉතා වැඩ් ප්‍රථිරෝධක අගයකුත් ඕම්ස් මීටරය මගින් නිවැරදිව ලබා ගැනීම අරමුණු කොට ගෙනයි මෙසේ කොටස් කීපයක් ලෙස ඕම්ස් මීටරය දක්නට ලැබෙන්නේ. එලෙසම මල්ටිමීටරයේ පාඨාංක දක්වා ඇති කොටසේ ඕම්ස් අගයන්ට අදාලව ඔබට දැකිය හැකි වන්නේ 0 සිට 2k දක්වා අගයන් පමණයි. නමුත් මල්ටිමීටරයේ ඕම්ස් මීටරයෙන් ඔබට ඕම්ස් 1ක සිට මෙගා ඕම්ස් 20ක අගයක් දක්වා ඉතා නිවැරදිව මැනගත හැකියි. මෙසේ කළ හැකි වන්නේ ඕම්ස් මීටරය x1 සිට x10 දක්වා වෙන් වෙන්ව සැකසිය හැකි කොටස් 05කින් යුක්තව ඇති නිසාවෙනි. ඔබට ඕම්ස් 56ක අගයකින් යුතු රෙසිස්ටරයක අගය මැන ගැනීමට අව්ශ්‍ය යැයි සිතන්න. සිලෙක්ටරය x1 ස්ථානයට සකසා මල්ටිමීටරයේ අග්‍ර දෙකෙහි සන්නායක කොටස් රෙසිස්ටරයේ දෙකෙළවරට ස්පර්ශ කළ විට මල්ටිමීටරයේ පාඨාංක දක්වනය ( කටුව ) 50ත් 100 අතර 50ට ඉතා ආසන්න ස්ථානයක ස්ථාන ගත වනවා. මෙහිදී ලැබෙන අගය 56 නම් අප එය ගණනය කරන්නේ 56 x 1 (56)ලෙසටයි.
ඕම්ස් 56ක ප්‍රතිරෝධකයක් පාඨාංක දක්වන ආකාරය
 මෙලෙස ඕම්ස් මීටරයේ සිලෙක්ටරය සකසා ඇති ස්ථානයේ ගුණිතයක්  ලෙස ඕම්ස් අගය ලබා ගත යුතු වනවා.නැවතත් අපට කිලෝඕම්ස් 56 ක රෙසිස්ටරයක් පරීක්ෂාකිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න. මෙවර අප සිලෙක්ටරය x1k ස්ථානයට යොමුකලේ නම් මීටරයේ පාඨාංක දක්වනය නැවතත් 50ත් 100ත් අතර 50ට ඉතා ආසන්න ස්ථානයක ස්ථානගත වනවා. මෙහිදී අප අගය ලබා ගතයුතු වන්නේ 56 x 1k (56k)ලෙසටයි.
කිලෝඕම්ස් 56ක ප්‍රතිරෝධකයක් පාඨාංක දක්වන ආකාරය

මෙසේ රෙසිස්ටරයේ අගයට සරිලන ස්ථානයකට මීටරයේ සිලෙක්ටරය යොමු කිරීම මගින් නිවැරදි අගයක් ලබා ගැනීම පහසු වනවා. එලෙසම ඔබට කිලෝඕම්ස් 56 රෙසිස්ටරය x10k ස්ථානයට සිලෙක්ටරය යොමුකර ගැනීම මගින්ද පාඨාංක ලබා ගත හැකියි. මෙවිට පාඨාංක දක්වනය 5-10ත් අතර 5ට ඉතා ආසන්න ස්ථානයක ස්ථාන ගත වන අතර පාඨාංකය ගණනය කරනු ලබන්නේ 5.6 x10k (56k) වශයෙනුයි.
කිලෝඕම්ස් 56ක ප්‍රතිරෝධකයක් පාඨාංක දක්වන ආකාරය-2

මේ වන විට ඔබ මල්ටිමීටරයේ ඕම්ස් මීටරය භාවිතා කරමින් රෙසිස්ටරයක අගයක් ලබා ගැනීම සම්බන්ධව අවබෝධයක් ලබාගෙන ඇතැයි මා විශ්වාස කරනවා. වෝල්ට් මීටරය සහ ඇමීටරය භාවිතා කරන අන්දම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්චා කරමු. එසේම පරිපථයක දෝෂ සහිත කොටසක් හෝ දෝෂ සහිත ඉසව්ව සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ආකාරය ගැනද අනතුරුව සාකච්චා කරමු. මේ දක්වා සාකච්චා කර ඇති කරුණු සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතොත් කරුණාකර කමෙන්ට් එකක් මගින් හෝ slelectroniclab@gmail.com යන ඊමේල් ලිපිණයට යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

No comments:

Post a Comment