Social Icons

Sunday, August 4, 2013

පුංචි වුනත් ලොකු වැඩ කරන පුළුවන් NE 555


ඉලෙක්ට්‍රොනික් ලෝකයේ නම් මේ නම අහල නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඒත් නොදන්න අය බලනවා ඇති මොකක්ද මේ NE555 කියන්නේ කියලා. පසුගිය ලිපියන් අප සාකච්චා කලේ සංගෘහිත පරිපථ (Intergrated Circuit) හෙවත් අයි.සී. ගැනනේ. ඉතින් අයි.සී. එකක් උපයෝගී කරගෙන පරිපථ නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන්ම යොදා ගැනෙන්නේ මෙන්න මේ NE555 අයි.සී. එකයි. ප්‍රමානයෙන් ඔබේ නියපොත්තකටත් වඩා කුඩා වුවත් එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා ගත හැකි විවිධාකරයේ ඉලෙක්ට්‍රොනික පරිපථ විශාල ප්‍රමාණයක් මෙම සංගෘහිථ පරිපථය ආශ්‍රයෙන් ඉතා පහසුවෙන්ම ගොඩ නගාගත හැකියි. මෙම සංගෘහිථ  පරිපථය Astable, Monostable සහ Bistable  යන ඉලෙක්ට්‍රොනික් සංසිද්ධීන් අන්තර්ගතවන ආකාරය නිපදවා තිබීම එයට ප්‍රධානම හේතුවයි.
පාද අටකින් සමන්විත වන මෙම සංගෘහිත පරිපථයට වෝල්ට් 3-15ත් අතර ප්‍රමාණයක් ලබා දිය හැකි අතර 1වන පාදයට රිණ (0V) විදුලියත් 8වන පාදයට ධන (+V) විදුලියත් ලබා දිය යුතු වනවා. එමෙන්ම 2වන සහ 4වන පාදයන් හට විධානයන් ලබා දිය හැකි අතරම 3වන පාදය මගින් විධානයන්ට අනුරූපිව සංගෘහිථ පරිපථයේ ප්‍රතිඵලයන් නිකුත් කිරීම සිදු කරනු ලබනවා.ට්‍රාන්සිස්ටරයක මෙන් නොව සංගෘහිත පරිපථක පාද නිර්ණය කර ගැනීම  ඉතාමත් පහසුවන අතර සංගෘහිත පරිපථයේ අංක සහ අකුරු මුද්‍රණය කර තිබෙන මුහුණත කොටස අකුරු කියවිය හැකි ආකාරයට හරවා ගත් කළ නිතැතින්ම වම් පසට වන්නට පහළින්ම පිහිටන අග්‍රය 01 වන අග්‍රය ලෙස හදුනාගැනීම සිදු කළ හැකියි. 01වන අග්‍රයේ සිට දකුණු පසට වන්නට අනුක්‍රමිකව අනිකුත් අග්‍රයන් (1,2,3,4,..)  පිහිටන අතර එක් පසක අවසාන අග්‍රයේ විරුද්ද දිසාවේ ඇති මුල්ම අග්‍රය අනුක්‍රමික ශ්‍රේණිය මීලග අග්‍රය ලෙස පිහිටනවා. එලෙසම 1වන අග්‍රයට ආසන්නයෙන් සෑම අයි.සී. එකකම කුඩා කැපුමක්ද (X ලෙස සළකුණු කර ඇත) දැකිය හැකි වනවා.


 සංගෘහිත පරිපථයක් අභ්‍යන්තරයේ අන්තර්ගතව ඇත්තේ සරල හෝ සංකීර්ණ පරිපථයක් බව මේ වන විට ඔබ දැනුවත් වී හමාරයි. අප අද සාකච්චා කරන NE555 අභ්‍යන්තරයේ ට්‍රාන්සිස්ටර් 20කට අධික ප්‍රමාණයක්ද, රෙසිස්ටර් 15කට ආසන්නව සහ අවම වශයෙන් ඩයොඩයන් 2ක් පමණද අන්තර්ගතවනවා. මේ සදහා හොදම නිදසුන නම් අයි.සී. එක අභ්‍යන්තරය දැක්වෙන පහත රූපසටහනයි.
 වර්ථමානයේ භාවිතා වන සරල සහ සංකීර්ණ පරිපථයන් බොහොමයක ඝටිකාවක් ලෙස බහුලවම යොදා ගැනෙන්නේ NE555 වන අතර විනෝද ජනක ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා, ආලෝක දැල්වුම් පරිපථ, මෙන්ම තාප , ජල සහ ආලෝක සංවේදී පරිපථයන් සියල්ලකම පාහේ යොදාගැනෙන්නේද මෙම සංගෘහිත පරිපථයයි.  විවිධ කාණ්ඩයන් යටතේ ක්‍රියාකාරීත්වය සුළු වශයෙන් වෙනස් කරන ලද 555 කාන්ඩයේ සංගෘහිත පරිපථයන්ද වෙළදපලේ දක්නට ලැබෙන අතර මෙම අයි.සී. එක ආධාරයෙන් Astable, Monostable සහ Bistable ක්‍රියාකාරීත්වයෙන් යුත් සරල පරිපථ ගොඩනගන ආකාරය මීළග ලිපියෙන් විමසා බලමු.

ප්‍රධාන කොටම  ඉලෙක්ට්‍රොනික් විෂය ඉලක්ක කරගෙන ආරම්භ කළ මෙම බ්ලොග් අඩවිය මේ වන විට සිය 50 වන තාක්ෂණික ලිපිය එළි දැක්වීමට ආසන්නව සිටිනවා. මෙම බ්ලොග් අඩවියේ පරිශීලකයන් අතර බොහෝ විට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධයෙන් මා නොදන්නා ඉසව් ප්‍රගුණ කරඇති ප්‍රවීනයන්ද සිටින බව විටින් විට ලබා දෙන ප්‍රතිචාර අනුව පෙනීගිය කරුණක්. එලෙසම යම් යම්  පෞද්ගලික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාව තුළදී ලිපි ඉදිරිපත් කිරීම පමාවූ අවස්ථාවන්හීදී ඒ ගැන විමසමින් ඊ.මේල් එවීමට සහ ප්‍රතිචාර (comments) මගින් විමසීමට පවා සමහරුන් පෙළබුණ බව මා ඔබට පැවසිය යුතුයි.  මේ සියල්ලක්ම සැලකිල්ලට භාජනය කරමින් ඉලෙක්ට්‍රොනික් උදෙසාම ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රථම සහ එකම වෙබ්  ෆෝරමය  Electronic Inside ලෙස අද පටන් ඔබගේ පරිශීලනයට යොමුකර සිටිනවා. මෙම බ්ලොග් අඩවිය මේ තරම් දුරක් ගෙන ඒමට දායක වූ පරිශීලනය කරන ඔබෙගේ අදහස් එලෙසින්ම මෙම නව වෙඹ් අඩවිය වෙනුවෙන්ද යොමුකරන මෙන් සහෘදත්වයෙන් යුතුව ආයාචනා කර සිටිනවා. විශේෂයෙන්ම මග හැරී ඇති හෝ ඉවත් කළ යුතු මාතෘකාවක් වේ නම් ඒ බව නොපමාව දැනුම් දෙන්න. එලෙසම මෙම බ්ලොග් අඩවියටද අද පටන්  http://blog.electronicinside.com යන ලියාපදිංචි  වෙබ් නාමය යටතේ පැමිණිය හැකියි. අදාල ඩොමේනය අවුරුදු 02ක කාල සීමාවකට ලියාපදිංචි කොට පරිත්‍යාග කළ සහෘදයාටද මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබටද මාගේ හදපිරි ප්‍රණාමය!

No comments:

Post a Comment