Social Icons

Sunday, August 4, 2013

මල්ටිමීටරයේ වෝල්ට් මීටරය භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි...


පරිපථයකට විදුලිය ලබා දී  එක් එක් ස්ථාන හරහා ගමන් කරන විදුලිය ප්‍රමාණය නිශ්චය කර ගැනීම, පරිපථයක දෝෂ සෙවීමේදී අත්‍යවශයම අංගයක්. අදාල පරිපථයට විදුලිය ලබා දෙන්නේ වියළි කෝෂ හරහා නම් මේ කටයුත්ත ඒ තරම් බෑරෑරුම් දෙයක් නොවුනත් 230V වගේ ලබාදෙන පරිපථයක නම් මෙම කටයුත්ත තරමක් අවදානම්. කිනම් අවස්ථාවකදී වුවද පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රියාමාර්ගයන් කීපයක් සම්බන්ධව පසුගිය ලිපියෙන් සාකච්චා කළ බව ඔබට මතක ඇති.අද අපි විමසා බලමු වෝල්ට් මීටරය භාවිතාවෙන් ඒ.සී හෝ ඩී.සී. විදුලිය අගයක් මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන්. මේ වන විට ඔබ මල්ටිමීටරයේ ඕම්ස් මීටරය භාවිතාවෙන් රෙසිස්ටරයක ඕම්ස් ප්‍රමාණය මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන් දැනුවත්ව ඇතැයි මා විශ්වාස කරනවා. එසේ නොමැති නම් පසුගිය ලිපියක් මගින් මා සාකච්චා කළ කරුණු සම්බන්ධයෙන් නැවතත් අවධානය යොමුකරන්න. එහිදී මා ඔබට පැවසුවා මල්ටිමීටරයේ සිලෙක්ටරය අදාල මානක ස්ථානයට යොමු කර ගැනීම මගින් ඉතා අඩු ඕම්ස් අගයක් මෙන්ම ඉතා ඉහළ ඕම්ස් අගයක්ද පහසුවෙන් එමෙන්ම නිවැරදිව මැන ගැනීමට හැකි ආකාරය සම්බන්ධයෙන්. වෝල්ට්මීටරය භාවිතා කිරීමේදීද සිලෙක්ටරය අවශ්‍ය වන වෝල්ට් අගයට යොමු කර ගැනීම මගින් මිලි වෝල්ට් ප්‍රමාණයක සිට වෝල්ට් 1000ක් පමණ වන තුරු වෝල්ට් අගයන් ඉතා නිවැරදිව මැන ගැනීමට හැකියාව ලැබෙනවා.


මෙහිදී ඒ.සී. සහ ඩී.සී විදුලිය මැන ගැනීම වෙනුවෙන් වෙන වෙනම මානක පරාසයන් දෙකක් පවතිනවා. දකුණු පස දක්වා ඇති රූප සටගනේ DCV යනුවෙන් සදහන් කර ඇති මාපක ස්ථාන මගින්  0.1-1000V දක්වා ඩී.සී වෝල්ටීයතාවක්ද, ACV යනුවෙන් සදහන් කර ඇති කොටසින් 1-1000V දක්වා ඒ.සී වෝල්ටීයතාවක්ද මැන ගැනීමේ හැකියාව පවතිනවා. වෝල්ට් මීටරය භාවිතා කිරීමට ප්‍රථමයෙන් මැන ගැනීමට ලක්වන පරිපථය තුළින් ගමන් කරන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවක්ද, (AC) සරළ ධාරාවක්ද (DC) යන්න  පරිශීලකයා දැනුවත්ව සිටීම ඉතා වැදගත්. එලෙසම අදාල පරිපථය තුල තිබිය හැකි ඉහළම වෝල්ට් ප්‍රමාණයද දළ වශයෙන් හෝ දැන සිටීමත් වැදගත්. මෙම අගය නොදන්නා අවස්ථාවකදී අනුගමනය කළ හැකි සරලම ක්‍රියාමාර්ගය නම් වෝල්ට්මීටරයෙන් පාඨාංක ලබා ගත හැකි ඉහළම කාන්ඩය වෙත (1000V) සිලෙක්ටරය යොමු කර පාඨාංක ලබා ගැනීමයි. මෙහිදී ලැබෙන වෝල්ට් අගය මත අදාල සුදුසු කාණ්ඩයක් වෙත සිලෙක්ටරය යොමුකරගැනීම පසුව කළහැකියි.වෝල්ට් 1 සිට 10 දක්වාත්, වෝල්ට් 1 සිට 50 දක්වාත් වෝල්ට් 1 සිට 250 දක්වාත් කාණ්ඩ 03ක් මා ඔබට නිදර්ශකයක් ලෙස දක්වා ඇති ඇනලොග් මල්ටිමීටරයකට අදාල රූපයේ කොළ පැහැයෙන් දක්වා ඇති පාඨාංක දර්ශකය  (Display Screen) තුල දක්නට ලැබෙනවා. සිලෙක්ටරය 10, 50, 250 යන ස්ථානයන්ට යොමු කර ඇති විටක ඔබට පහසුවෙන් ඉහත කාණ්ඩවලට අදාලව වෝල්ටීයතා අගයන් අදාල පාඨාංක දර්ශක තීරුව භාවිතාවෙන් මැන ගැනීමට හැකිවනවා. එලෙසම ඔබට 250V වැඩි වෝල්ට් ප්‍රමාණයක් මැන ගැනීමට අවශ්‍ය වූ විටක සිලෙක්ටරය 1000V වෙත යොමුකර, පාඨාංක දර්ශකයේ 0-10 දර්ශක තීරුව මගින් ලැබෙන පාඨාංකය 100න් ගුණනය කිරීමෙන්ද. 0-50 තීරුව මගින් ලැබෙන පාඨාංකය 20න් ගුණනය කිරීම මගින්ද 0-250 තීරුව මගින් ලැබෙන පාඨාංකය 4න් ගුණනය කිරීම මගින්ද පාඨාංක අගය අවශ්‍ය ප්‍රමාණයට සීරු මාරු කර ලබා ගත හැකියි. 2.5V, 0.5V හා 0.1V යන මිනුම් ස්ථාන වලට සිලෙක්ටරය යොමු කර ඇති අවස්ථාවකදීද මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කළ හැකියි. නමුත් බොහෝවිට මල්ටිමීටරක් භාවිතා කිරීමේදී නම් මෙලෙස එක් එක් මාපක ස්ථානයන්ට (1-10, 1-50, 1-250, 1-1000) සිලෙක්ටරය වෙන් වෙන්ව යොමු කිරීමක් අව්ශ්‍ය නොවන නමුත් ඒ.සී හා ඩී.සී විදුලි පරාසයන්ට පමණක් වෙන් වෙන්ව සිලෙක්ටරය යොමුකිරීම ප්‍රමාණවත් වනවා.


එලෙසම පරීක්ෂාවට ලක් කරන්නේ සරල ධාරාවක් ගමන් කරන පරිපථයක් නම් මල්ටිමීටරයේ අග්‍ර නිවැරදිව පරිපථය හා සම්බන්ධ කිරීමත් ඉතා වැදගත්. අග්‍ර වැරදි ලෙස සම්බන්ධ කිරීම මගින් ඇනලොග් මීටරයක නම් බොහෝ විට පාඨාංක දර්ශකයට හානි වීමේ හැකියාවක් තිබෙනවා. එනිසා මල්ටිමීටරයේ පොදු අග්‍රය හෙවත් කළු පැහැති අග්‍රය - විදුලි‍යටත් රතු වර්ණයෙන් යුත් අග්‍රය + විදුලියටත් සම්බන්ධ කිරීමටත් මතකයේ තබා ගන්න. එලෙසම පාඨාංක ලබා ගැනීමේදී කිසි විටෙකත් මල්ටිමීටරයට සම්බන්ධ අග්‍රයන්ගේ අවසාන කෙළවරේ ඇති සන්නායකය හා ඔබේ ශරීරය ස්පර්ශ නොවිය යුතුය යන ස්වර්ණමය රීතිය සම්බන්ධයෙන්ද  මා ඔබගේ අවධානය නැවතත් යොමු කරවනවා.මල්ටිමීටරයේ ඇති ඇම්පියර් මාපකය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් මීළග ලිපියෙන් අපි විමසා බලමු.

No comments:

Post a Comment