Social Icons

Sunday, August 4, 2013

අක්‍රිය වූ ඉලෙක්ට්‍රොනික් උපාංගයක්, පරිපථයකින් ඉවත් කරන්න දන්නවාද?


ඉලෙක්ට්‍රොනික් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළද අසල්වැසි ඉන්දියාවේ මෙන් පුනරුදයක් ඇතිවිය යුතුය යන්න මෙම බ්ලොග් අඩවියේ ඒකායන බලාපොරොත්තුව වන අතර කමෙන්ට් මගින් සහ E-mail  මගින් ආධුනිකයන්ගෙන් ලැබෙනා අදහස් හා යෝජනා සම්බන්ධයෙන්ද  නිරතුරු අවධානය යොමුකරමි. පසුගිය ලිපියෙන් සාකච්චා කළ Desoldering Pump නැමැති උපකරණය භාවිතාවෙන් අක්‍රිය වූ හෝ බලපොරොත්තු වන තත්වයේ නොමැති ඉලෙක්ට්‍රොනික් උපාංගයක් පරිපථයකින් ඉවත් කරන ආකාරය ගැන අද අපි විමසා බලමු. මේ සදහා අපට බවුත් එකක සහයද ලබා ගත යුතු වනවා. ඔබ සමහර විට දැක ඇති බවුතයක් පමණක් උපයෝගී කරගෙන පරිපථයක උපාංග ඉවත් කරන ආකාරය. නමුත් එවැනි අවස්ථාවකදී පරිපථය පුවරුවට මෙන්ම අනිකුත් උපාංග වලටත් හානි සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා මෙම කාර්යය සදහා එකක් යොදා ගැනීම වඩාත් යෝග්‍ය වනවා. පහතින් දක්වා ඇත්තේ Desoldering Pump එක සාමන්‍ය තත්වයේදී දිස්වන ආකාරය සහ එහි ලීවරය තද කළ පසු දිස්වන ආකාරයයි.

Desoldering Pump ලීවරය තද කිරීමට පෙර සහ පසු


අනවශ්‍ය උපාංගය ඉවත් කිරීමේදී මුලින්ම කළ යුත්තේ උපංගය තිබෙන ස්ථානය පරිපථය තුළ හරිහැටි සළකුණු කර ගැනීමයි. අනතුරුව එම ස්ථානය Surgical Spirit වැනි පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයකින් පිරිසිදු කර ගැනීමට හැකි නම් එසේ කරන්න. මී ලගට රත්වූ බවුතයක් උපයෝගී කරගෙන උපාංගය හා පරිපථය සම්බන්ධ  කරඇති උපාංගයේ අග්‍ර මත ඇති ඝණ වූ ඊයම් ද්‍රව තත්වයට පත්කරගත යුතුය. මෙම අවස්ථාවේදී ඝන තත්වයේ ඇති ඊයම් දිය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ඊයම් දණ්ඩක් ගෙන අදාල අග්‍රය මත ස්වල්ප මොහොතක් රත්වූ බවුතයත් සමග තබා ගෙන සිටීමද කළ හැකිය. මෙම අවස්ථාවේදී පරිපථය සුදුසු ආධාරකයක් මත තබාගැනීමද, පරිපථය මතට අනවශ්‍ය පීඩනයක් එල්ල නොකිරීමද වැදගත්ය. 

අග්‍රය මත ඇති ඊයම් ද්‍රව බවට පත් වන බව දැකගත හැකි වූ සැනින් ලීවරය තද කර ඇති Desoldering Pump එකෙහි තුඩ අග්‍රය මතට තබා එහි Release Button එක එක තද කළ සැනින් එම අග්‍රය මත තිබූ ද්‍රව ඊයම් වලින් වැඩි ප්‍රමාණයක් Desoldering Pump එකේ ටියුබය තුළට ඇදී යාම සිදුවේ.

මෙම ක්‍රියාවලිය නැවත නැවත කිරීම මගින් අනවශ්‍ය උපාංගයේ අග්‍ර මත ඇති ඊයම් සියල්ලක්ම ඉතා පහසුවෙන් ඉවත්කර ගත හැකි අතර අවසානයේදී අදාල උපාංගය පහසුවෙන් පරිපථයෙන් ඉවත් කරගත හැකිවනු ඇත. මෙහිදී පරිපථ පුවරුවට කිසිදු හානියක් සිදු නොවේ.
මෙම කාර්යයද ඔබේ ඉලෙක්ට්‍රොනික ජීවිත‍යට අත්‍යවශයම අංගයක් වන අතර ඉදිරියේදී දෝෂ සහිත ඉලෙක්ට්‍රොනික් උපාංගයක් හදුනාගන්නේ කෙලෙසද යන්න ගැනත් විමසා බලමු.

No comments:

Post a Comment