Social Icons

Sunday, August 4, 2013

මල්ටිමීටරය ආධාරයෙන් ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂාකරන්නේ මෙන්න මෙහෙමයි...


මේ වන විට මෙම බ්ලොග් අඩවිය මගින් රෙසිස්ටරයක්, කැපෑසිටරයක් , ඩයෝඩයක් සහ ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධව සාකච්චා කර අවසන්. එමෙන්ම රෙසිස්ටරයක අගය ලබා ගන්නා කේත ක්‍රමය සම්බන්ධව මෙන්ම මල්ටිමීටරයක් භාවිතාවෙන් රෙසිස්ටරයක අගය මැන ගන්නා ආකාරය  සහ ඩයෝඩයක ක්‍රියාකාරීත්වය පරීක්ෂාකර ගන්නා අන්දමද මා ඔබට පැහැදිලි කර අවසන්. එසේනම් මල්ටිමීටරයක් ආධාරයෙන් ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂා කරන ආකාරය අද අප විමසා බලමු. ට්‍රාන්සිස්ටර් ගැන සාකච්චා කළ ලිපියේදී මා ඔබට සදහන් කලා NPN සහ PNP යනුවෙන් ට්‍රාන්සිස්ටර් දෙවර්ගයක් භාවිතාවේ ඇති වග. මල්ටිමීටරය ආධාරයෙන් NPN  වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂා කරන අන්දම අප මුලින්ම විමසා බලමු.

පරීක්ෂාවට ලක් කරන ට්‍රාන්සිස්ටරය පරිපථයකට සම්බන්ධ කර තිබේ නම් එහි කලෙක්ටර් සහ එමීටර් යන අග්‍රයන් අදාල පරිපථයෙන් විසන්ධි කර ගැනීම කළයුතුයි. මෙසේ ට්‍රාන්සිස්ටරයේ අග්‍රයන් පරිපථයෙන් විසන්ධි කළ යුතු වන්නේ පරිපථයට සම්බන්ධ අනිකුත් උපාංග මගින් ඇති කරන ප්‍රතිරෝධක අගයන් හේතුවෙන් ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීමේ කටයුත්තට බාධා පමුණුවන හෙයිනි. NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් සාමන්‍ය තත්වයේ පවතින්නේ නම් එහි බේස් අග්‍රය සහ කලෙන්ටර් අග්‍රය අතරත් බේස් අග්‍රය සහ එමීටර් අග්‍රය අතරත් එක් දිශාවකට අධ්ක ප්‍රතිරෝධයක් ඇති අතර විරුද්ද දිශාවට පවතින්නේ ඉතා අඩු ප්‍රතිරෝධයකි. එනම්  N සහ P අතරත් P සහ N අතරත් ඇත්තේ ඩයෝඩයක් හා සමාන ක්‍රියාකාරීත්වයක් වන අතරම එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාම සිදු වේ. පරීක්ෂා කිරීමේදී පමණක් ට්‍රාන්සිස්ටරයක ව්‍යුහයට ඩයෝඩයන් දෙකක් ඉහත පරිදි සමාන කරගත හැකි නමුත් ක්‍රියාකාරීවීමේදී ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීවය ඩයෝඩයක් දෙකක් එකට සම්බන්ධකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා බොහෝ සෙයින් වෙනස් බවද මතකයේ තබාගන්න.
ඉහත රූප සටහනේ පරිදි මල්ටිමීටරයේ සිලෙක්ටරය ඕම්ස් මාපකයට අදාල අවම සීමාවට ( X1) යොමුකර ගැනීමෙ අනතුරුව  එහි පොදු අග්‍රය හෙවත් කලු පැහැති අග්‍රය ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය වෙතද මල්ටිමීටරයේ රතු අග්‍රය ට්‍රාන්සිස්ටරයේ කලෙක්ටරය වෙතද සම්බන්ධ කරගන්න. එවිට ඔබට ලැබෙන පාඨාංකය අනන්තයක් දක්වා විහිද යන අතරම අනතුරුව බේස් අග්‍රයට සම්බන්ධ මල්ටිමීටරයේ කලු අග්‍රය එලෙසම තබාගෙන රතු අග්‍රය කලෙක්ටරයෙන් ඉවත් කොට ට්‍රාන්සිස්ටරයේ එමීටරය වෙත සම්බන්ධ කර ලැබෙන පාඨාංකයත් කලින් සිදු කල පරීක්ෂණයේ මෙන් අනන්තක් දක්ව විහිද යන්නේ දැයි නිරීක්ෂණය කරන්න.
අනතුරුව ඔබ කළ යුත්තේ මල්ටිමීටරයේ රතු අග්‍රය ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය වෙත සම්බන්ධ කර මල්ටිමීටරයේ කලු අග්‍රය ට්‍රාන්සිස්ටරයේ කලෙක්ටරය සහ එමීටරය වෙත දෙවතාවකදී වෙන් වෙන්ව සමන්ධ කර ගැනීමයි. මෙම අවස්ථා දෙකේදීම ඔබහට ලැබෙන පාඨාංකය ඉතා අඩු ඕම්ස් අගයක් වියයුතු අතර සමහර විට එය ඕම්ස් බිංදුවක් ලෙසද නිරීක්ෂණය විය හැකියි.
අවසාන වශයෙන් ඔබ කල යුත්තේ ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය මුදා හැර කලෙක්ටර් සහ එමීටර්  අගයන් පමණක් ඉහත රූප සටහනේ පරිදි මල්ටිමීටරයේ රතු සහ කලු අග්‍රයන් සම්බන්ධ කර ගැනීමයි. අවස්ථා දෙකෙදීම ඉහළ ඕම්ස් අගයක් ලැබිය යුතු අතර ලැබෙන අගයන් අවස්ථා දෙකේදීම එක සමාන වියයුතුය.මෙලෙස ඉහත රූප සටහන් වල දක්වා ඇති පරිදි මල්ටිමීටරය හා ට්‍රාන්සිස්ටරයේ අග්‍ර සම්බන්ධ කිරීමේදී A සහ B යන අවස්ථාවන්හීදී අනන්තයක් දක්වා දිවෙන ඕම්ස් අගයක්ද, C සහ D යන අවස්ථා වලදී ඉතා අඩු හෝ ශුන්‍ය වන ඕම්ස් අගයක්ද, E සහ F යන අවස්ථාවන්හීදී ඉතා වැඩි ඕම්ස් අගයක්ද ලැබුනේ නම් අදාල ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නිසි තත්වයේ තිබෙන බවට නිගමනය කරගත හැකිය. එනමුත් ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී අවස්ථාවන්හීදී තාපය නිසා හෝ වෙනයම් හේතුන් නිසා ඇතිවන දෝෂ තත්වයන් මෙවැනි පරීක්ෂණයක් මගින් නිරීක්ෂණය කළ නොහැක.

PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද ඉහත ක්‍රියාවලිය මගින්ම පරීක්ෂාවට ලක්කළ හැකි නමුත් ලැබෙන පාඨාංක AB සහ CD යන අවස්ථාවන්හීදී ප්‍රති විරුද්ද ලෙස ගණනය කළ යුතුය. එනම් ට්‍රාන්සිස්ටරයක් හොද තත්වයේ ඇත්නම් AB අවස්ථාවන්හීදී අවම අගයක ඕම්ස් ප්‍රමාණයක්ද, CD යන අව්ස්ථාවන්හීදී අනන්තයක් දක්වා දිවෙන ඕම්ස් ප්‍රමාණයක්ද ලැබෙනු ඇත. NPN සහ PNP දෙවර්ගයේම ට්‍රාන්සිස්ටරයන් ඉහත පරිදි ඉතා සරල ක්‍රියාමාර්ගයන් මගින් පරීක්ෂා කරගත හැකිය.

No comments:

Post a Comment